බව තරණය කියවූවෙමි!

නවකතාව ආරම්භ වන්නේ සිදුහත් උපතින් නොවේ. 
එය අවසන් වන්නේ බුදුන් වහන්සේගේ පරිනිර්වාණයෙන්ද නොවේ.
සිදුහත් ගිහි ගේ කළකිරෙන්නේ  'එක පාරට' දුටු සතර පෙර නිමිති නිසා නොවේ.. තම සිත තුල අනාදිමත් කලෙක සිට වද දුන් නිමිති පුපුරා යාමක් ලෙසිනි.

යශෝධරා අත හැර හොර රහසේ සිදුහත් පිට වුනා නොවේ ..  මේ සියල්ල දැන, එය දරා සිට සිදුහත්ට දිරි දුන් උත්තම  වනිතා චරිතයක් විය ඇය.

අහසේ වූ කිසිදු ප්‍රාතිහර්‍යයන් පොතේ පිටු අතර නොවීය.. නමුත් මිනිස් සන්තානයන් සනසා සතපන මහ පොලොවේ විප්ලවය පිටු අතරේ ලියැවී තිබින.

කොටින්ම  සාහිත්‍යමය ගොඩනැවීම්, අතිශයෝක්තියන් වෙනුවට, මාර්ටින් වික්‍රමසිංහයන් මෙහිදී සිදුහත්-බුදු සිරිත මවන්නේ අතිශය යතාර්ථවාදී රීතියක් තුලය.

ඔහු අපට ඇරයුම් කරන්නේ, මේ අසහාය පුරුශයා කල සාමාජීය, දේශපාලනික සහ ආගමික විප්ලවය, එකල පැවති සමාජ සන්දර්භයන් තුල හොවා නව මානයකින් කියවන ලෙසය.



  මාර්ටින් වික්‍රමසිංහ මහතා බව තරණය ලියද්දී එතුමන්ගේ වයස 83ක්,   බුදු දහම ගැනත්, භාරතයේ  එකල පැවති සාමාජීය පසුබිම ගැනත් වසර ගණනාවක් පුරා කල විමර්ශනයක් අවසානයේ ඔහු මේ  නවකතාව ලියන්නේ අද්භූතවාදයත්, මහප්‍රාණ බසත් ඉඳුරා බැහැර කොටයි.

වික්‍රමසිංහයන් තමන්ට කතා කරන්නට අවශ්‍ය තැන් පමණක් ඉතා පරෙස්සමෙන් තෝරා ගෙන, වසර ගණනාවක් මුලුල්ලේ ඔහු කල පර්‍යේශන ඉතා සියුම් ලෙස මේ කතාව තුලට ඔබ්බවන්නේ, සැඳෑ සමය දක්වා දිවියේ දශක ගනන් පුරා ඔහු ලද සියලු පරිචයන් එකට කැටි කරන සෙයිනි.

මේ ප්‍රයත්නය අතිශය නිර්භීතය... ප්‍රශංසනීයය..   දැඩි විවේචනවලට, උද්ගෝශනවලට හසු වුවද,  පොත ලියා වසර 50කට ආසන්න කලක් ගෙවී යද්දීත්, මේ පොත කෙතරම් ඉදිරියෙන් සිටීද යන්න වැටහෙන්නේ, කිසිදු සාහිත්‍යමය රසයක් නැති, විචාරයෙන් තොර සාහිත්‍ය පඩංගු වලට සිදුහත් චරිතය සමඟ කුනු හරුපයක් එකතු කිරීම හෙන රැඩිකල් යැයි අසන්නට සිදු වීමත්, ඒවා සාධරණීකරනය කරන්නට බව තරණයේ පිටුවලින් ම දෙබසක් දෙකක්  භාවිතා කිරීමත් ඉඳ හිට හෝ දකින්නට ලැබෙන නිසාය.

ඒ මහත්වරුන්ට අනුකම්පා කරමින් අප නැවත තරණයේ දෙසට යොමුවෙමු, මන්ද මේ කතාව දෙබසකට, දෙකකට එහා ගිය මහා දැනුම් ගඟුලක් නිසාවෙන්.

මා මේ නව කතාවේ හරය ඉතා පුලුල් ලෙස කොටස් තුනකට බෙදමි. පොතේ මා තෝරා ගත් පිටු කිහිපයක් සමඟ හැකි කෙටියෙන් ඒ ගැන සටහන්  කරමි.

එ කොටස් තුන නම්

1.  සමාජ, ආගමික හා දේශපාලනයික කියවීම:
සිදුහත්ගේ මූලික නිදහස් චින්තනයට අදාලව සහ පසුව බුදුන් වහන්සේ සිදු කරන සමාජ් විප්ලවය ට එහි බලපෑම


2. සිදුහත් සහ යශෝධරා ආදර කතාව:
මුලු කතාවේ ලස්සනම පරිච්චේදය මෙයයි..   සිදුහත්ගේ විප්ලවය තුල යශෝධරා ස්ථාන ගත වීම  දන්නා ආදර කතාවේ හිස් වූ පිටු කිහිපයක් පිරවූවාක් සේ මේ පරිච්චේදය ආදරණීයය..


3. බුදුන් වහන්සේ වදාළ ධර්මයේ දාර්ශනික පැතිකඩ:
එය දනන් පෙර නො ඇසු දහමක් (පුබ්බේ අනනුස්සුතේසු ධම්මේසු)  ලෙසින් ඉස්මතු කිරීම. 


ඒ එක්කම කියන්න ඕනෙ මේ පොත හැමෝටම හරි යන එකක් නෑ, ඒ ඇයිද කියලත් අන්තිම හරියෙ පුලුවන් කෙටියෙන් ලියන්නම්.. 


1.  සමාජ, ආගමික හා දේශපාලනික පැත්ත


 කතාව ආරම්භ වන්නේ සිදුහත් තමාගෙ අවට ලෝකය, ඉතා තියුනු ලෙස විශ්ලේශනය කරන අයුරු පෙන්වමිනි. එහිදී ඔහු අනෙක් කුමරුන්, සොහොන් පල්ලන්, පවුලේ අය, කුලීනයන් සහ කුල හීනයන් සමඟ ඇති වන සංවාදමය දෙබස් හරහා අපට එකල තිබු වටපිටාව මනාවට චිතරනය කර පෙන්වයි.

වෛදික, උප්නිශද්, ජෛන ආදී පමණක් නොව, පරිභෝජනවාදී, කාමභෝගී දිවිය උත්කෘශ්ට කරනා, ආත්මයක් පරලොවක් නැතැයි ඉගැන්වෙන භෞතිකවාදය මත පදනම් වූ චාර්වකවාදය සහ සි‍යලු ආගම් දර්ශන ප්‍රක්ශේප කරන ලෝකායතවාදය ආදිය ගැන ඉතා සවිස්තර කරුනු මෙම දෙබස්වල අඩංගු වේ.

ඒ එක්කම ශාක්‍ය, ලිච්ඡවි රාජ්‍යය අනෙක් රාජ්‍ය වලට සාපේක්ශව යාග හෝම ආදිය ප්‍රතික්ශේප කරන, නිදහස් මතවාදීමය සාකච්ඡා සිදුවෙන කාලයක් බව මේ සංවාද හරහා පෙන්නුම් කරයි.  මේ  එනිසා සිදුහත් මාලිගාවෙන් එපිට තිබෙන ලෝකයත්, තමා වටා ඇති කාමභෝගී ලොවත් එලෙසින්ම දුටුවේය. ඔහුගෙන් සැඟ වූ ලෝකයක් වෙනුවට කතුවරයා අපට පෙන්වා දෙන්නේ, ඔහු අන් සැමගෙන් සැගවුනු ලොවක් නව මානයකින් විනිවිද දකින්නට හැකි තරම් ශූර බුද්ධියකින් සිටි බවය.

කුල භේදය යොදා ගනිමින්  සැඩොල්, දාස, ගොවි, ගොපල්ලව ආදි මිනිසුන් සැමදා දුක්විඳින අයුරු; ක්ශත්‍රිය, බමුණු සහ සිටු කුල විසින්  පිලිවෙලින් දේශපාලනික, ආගමික හා ආර්ථික බලාධිකාර හිමි කර ගනිමින් විහිදවන සමාජ අසාධරණය ඔහු පිලිකෙව් කලේය.
එකල ආගම් පවා විමුක්තිය දෙන්නේ කුලීනයනට පමණක් යැයි සිදුහත් තර්ක කලේය. 

සංඝ සමාජය පසු කලෙක බිහි කරමින් බුදුන් වහන්සේ සිදු කරන්නේ සමාජ විප්ලවයකි. ‍රහත් බව ලැබු තෙරුන්, තෙරනියන් අතර උසස් කුල මෙන්ම සැඩොල්. දාස, කරණවෑමි, රන්කරු වන් මෙන්ම අපරාධකරුවන් සහ ගණිකාවන්ද සිට ඇත.
මේ සියල්ල එකල පැවති ආගමික දේශපාලන අධිකාරයන් දැඩි අර්බුධයකට යැවු ආකාරයත්, විවිධ කුමන්තරන හරහා දුශ්ශීලයන් සසුනට කුමන්ත්‍රන සහගත ලෙස යැවු අයුරු සහ ඊට බුදුන් වහන්සේ විනය ආදිය පනවමින් කම්පා නොවී, අවිහිංසාවාදීව මුහුන දුන් අයුරු ත් කියවන්නට ලැබේ.

වත්මනේ කතිකාවන් තුල ඉතා සැහැල්ලුවෙන් කතා වෙන බුදු සසුන හා බැඳුනු සුවිශේෂ ලක්ශණ වෙන කාලාම සූත්‍රයේ පෙන්වා දෙන නිදහස් චින්තනය, කුල භේද සහ ස්ත්‍රී ගර්හාව පිලිකෙව් කිරීම ආදිය, ඇත්ත වශයෙන්ම සාකච්ඡා විය යුත්තේ එදා භාරතයේ පැවති සමාජ යථාර්තය තුල වේ.. 
බුදුන් කලේ එසේ මෙසේ සමාජ විප්ලවයක් නොවන බව තේරුම් ගන්නට වික්‍රමසිංහයන් එම සංදර්භය සාර ගර්භව මේ නවකතාව තුලට එකතු කර ඇති ආකාරය ප්‍රශංසනීයය.


2. සිදුහත් සහ යශෝධරා

මේ පොතේ ඉහත සඳහන් කාරනය කතාවට අවැසි සාමාජීය, ආගමික හා දේශපාලනිකමය සන්දර්භය පැහැදිලි කලේ වුවද, එය කියවන්නාට විටෙක තරමක් බර වැඩිය. නිද්‍රාශීලි කියවන්නෙකුට මෙය තරමක කර්කශ, වියලි අත්දැකීමක් විය හැකි බවද සත්‍යයකි. 

යශෝධරා සිදුහත් ආදර කතාව එයට ඉසින සිසිල්පැන් පොදක් වැනිය. 


ඔවුන් ආදරේ කරන කල, වෙනත් ‍යුවතියන් ගැන සිදුහත් කරනා විහිලු ආදිය ගැන යශෝධරා විටක උනන්දුවෙන් අසයි.  එවිට ඒ ආදර කතාව අපට අපේ කතාවක් මෙන් දැනේ. 
අඹු සැමියන් ලෙස ඔවුන් එකිනෙකා වෙත සෙනෙහස පානා අයුරුත්, සිප වැලඳගන්නා අයුරු,  චිතරනය කිරීම තුල තවම බුදු නොවූ සිදුහත්ගේ යුග ජීවිතය ගැන අව්‍යාජ ප්‍රකාශනයක් අපට හමු වේ.
නමුත් සිදුහත් සිටින්නේ බුද්ධිමය පිපාසයකිනි. එයට ඔහු ලඟ සිටිය යුතුම මිතුරිය යශෝධරාවයි. ඔවුන් අතර වෙන දීර්ඝ සංවාද  අවසන් වන්නේ බොහෝ විට යශෝධරා නිරුත්තර වීමෙනි. නමුත් සිදුහත්ගේ බුද්ධිමය නිම් වළලු විහිදාලන්නට ඇය කෙතරම් කාර්‍යයක් කරාද යන්න වැටහෙන්නෙ අභිනික්මන අභිමුව සිදුහත් ගේ හිත ශක්තිමත් කිරීමට සංවාද මඟින් දාර්ශනික තලයේත්, සුද්දෝධන රජ සහ ප්‍රජාපතී ගෝතමියගේ පීඩනය ගෘහස්ත තලයේත් ඇය කළමනාකරනය කරන අයුරින් වේ.

ඔහු යන බව ඇය දැන සිටියාය.
ඇය ඔහුට ආශිර්වාද කලාය.
ඔහු ගියේ ඇයට සොරෙන් නොව, ඇය දැනුවත්වය.  රාහුල නොවන්නට ඔහු සමඟ තපසට යාමට සූදානමින්ද සිටියාය.
ඔහු ගැන සොයා බැලුවාය. ඔහු මෙන්ම අල්පේච්ඡ දිවියක් ගත කලාය. 
ඔහුද ඇය ගැන නිරන්තරයෙන් සිතුවේය. කොටින්ම බුදු වීමට මොහොතකට පෙර පවා යශෝධරා පිලිබඳ සිතුවිල්ල විදසුන් වැඩීමේ කමටහනක් විය.

ශාක්‍ය දේශයට වැඩි මුල් දවසෙම, යශෝධරා සිටින කුටියටම බුදුන් වහන්සේ වඩින මොහොතේ ‍යශෝධරා බුදු දෙපා සිප ගනිමින් හඬා වැටුනාය. ඒ දෙස ඉවසීමෙන් සහ ආධ්‍යත්මික කරුණාවෙන් බුදුන් වහන්සේ බලා සිටින අයුරු හරහා යශෝධරාට හිමි ගෞරවය සහ සාධාරණය පෙන්වා දෙනවා.

මේ ආදරණීය නිමේශයන් පිටු, පරිච්ඡේද පුරා ලියවුනා යැයි ඔබ සිතනවා ඇත.
අහෝ නැත!.
මේවා ඉතා කෙටි කොටස් හරහා මුත්, මනරම් ලෙස ලිවීමේ කදිම හැකියාවක් විකුම්සිහයන් පෙන්නුම් කලා වැනිය.
උදාහරනයක් ලෙස, අභිනික්මනට මැදුරෙන් නික්මීම පිටුවකටත් අඩුය. නමුත් ඉන් ඇති කල  තරංගය දශක ගණනාවක් පුරා තාමත් ප්‍රකම්පිත වේ..

ඒ විකුම්සිහ ප්‍රතිභාවය ය.



3. දාර්ශනික පැතිකඩ

සියලු ආගම් එක ලෙස වර්ගීකරනය කරන්නේ ඇත්තටම කිසිම ආගමක් හදරා නැති අය යැයි විටෙක සිතේ. ලොව වටා ආගම් විශ්ලේශනය කරන දාර්ශනිකයෝ බුදු දහම ගැන කතා කරද්දී, ඔවුන් එය ආගම් සම්බන්ධ මූලික ධාරාවෙන් ඉවතට ගෙන සාකච්ඡා කරති. එයට හේතුව විශ්ලේශනය කිරීම මේ ලිපියේ ප්‍රස්තුතයෙන් ඉවත වෙන නමුත්, බව තරණය පිටු හරහා ඒ ගැන ලියවෙන අයුරු නම් කෙටියෙන් හෝ සඳහන් කල යුතුම වේ.

එදා මිගදායේ දේ බුදුන් වහන්සේ පස්වග මහනුන්ට ප්‍රථම දම් දෙසුම වෙන ධම්මචක්කපවත්තන සූත්‍රය දේශනා කරද්දී, ඔවුන් අසන්නට යන්නේ මින් පෙර නැසු දහමක් බව (පුබ්බේ අනනුස්සු‍තේසු ධම්මෙසි) සඳහන් කලේ ඇයිද යන්න බව තරණය පෙන්වා දෙනවා.

එදා පැවති සියලු සම්ප්‍රදායන්, විශ්වාස ප්‍රශ්න කල සිදුහත් සත්‍යය සොයා යන ගමනේදී එවක භාරත‍යේ පැතිර පැවති ඉතා සංකීර්ණ වූ දෘශ්ටි ඉතා ගැබුරින් හැදෑරුවා.. ඒ විශ්වාසයන් වල අඩුවක් දකින ඔහු එයට නොගරහා එතනින් නික්මුනා. ආලාර කාලාම වැනි ගුරුවරුන් සත්‍යය දැන ගත් විට නැවත එය රැගෙන පැමිණෙන්නැයි කීවේ සිදුහත් සතු ඒ අසහාය ප්‍රභාව සහ දාර්ශනික ශක්‍යතාවය නිසාය.

බුදුන් වහන්සේ විසින් සත්වයාට වෙනස් නොවන නොමැරෙන ජීවාත්මයක් ඇතැයි කියන මතය (ආත්මවාදය) බැහැර කිරීම අතිශය ආන්දෝලනාත්මක විය.

එකල ආත්මවාදය බැහැර කල මතයක් ඒ වෙන විටත් තිබුන - එය බැහැරේ භෞතික වූ  නමුත් ආත්මීය සාරයක් නැති ලොවක් ඇතැයි විශ්වස කල ලෝකායතිකවාදයය. බුදුන් වහන්සේ එයද ප්‍රතික්ශේප කිරීම නිසා, මේ අලුත් ධර්මය වෙන කිසිවෙකු දේශනා නොකල අලුත්ම සංකල්පයක් විය. එනිසා එය ඉතා දැඩි විචාරයට හා සංවාදයට එකල ලක් වන්නට ඇත.

සාරිපුත්ත , මුගලන් යන අය බුද්ධ ශ්‍රාවකයන් වීමට මත්තෙන් බුදුන් වහන්සේ සමඟ කරන විචිත්‍ර සංවාද හරහා විකුම්සිහයන් අපට මේ කරුනු මතක් කර දේ. 

'සත්ත්වයෙක්, පුද්ගලයෙක් හෝ ආත්මීය යමක් නැත්නම් නිවන් දකින්නේ කවුරුන්ද?'  මෙවැනි ප්‍රශ්නවලට පිලිතුරු සැපයීමට බුදුනට පට්ච්ච සමුප්පාදය පදනම් කරගත් වෙනම දැනුම් පද්ධතියක් හරහා චතුරාර්‍ය සත්‍ය මුල් කර ගත් විමුක්ති මාර්ගයක් හා ආර්‍ය අශ්ටාංගික මාර්ගය මුල් කර ගත් බෞද්ධ ජීවන ක්‍රමවේදයක් නිමවන්නට සිදු විය.
එලියේ තහවුරු වූ ලෝකයක්, එහි ආරම්භයක්, මැවුම්කරුවෙක්, කොටින්ම කාල අවකාශයේ ආරම්භය, අවසානය වෙනුවෙන් ජීවිතයම වැය කරනු වෙනුවට, ලෝකය පවතින්නේ බඹයක් වූ සිරුර කේන්ද්‍ර කරගත් සන්තානයේ බවද, ඒ පුද්ගල නිර්මිතය තුලද හේතු ඇතිව ඇතිවෙන මායාවක්, ඇත්තක් ලෙස ගැනීම තුල හට ගන්නා මෝහය පෙන් වූ බුදුන්ගේ ධර්මය නිසා සුවහසක් එකල මිනිසුන් අලුත්ම ජීවන දෘශ්ටියක් වෙත එලඹැනු අයුරු පොතේ පෙන්වා දෙනවා. 

එලියේ යථාර්ථයක් තිබේද? ඒ මිනිස් විශයෙන් පරි බාහිර හේතු මත සැකසුනු මෝහය විසින් පෙන්වන මායාවක් බව ඉගැන්වීම එකලට (සහ මෙකලටත්) පැහැදිලිවම  out-of-box සංකල්පයක් විය.

අනෙක් ඉතා සුවිශේෂී කාරනය වූයේ ධර්මයේ අද්වෛත බවය (non-dualism). එනම් නිවන යන්න ඇත හෝ නැත යන අන්ත දෙකෙන්ම මිදුනු, දැණුමෙන් පමණක් දත නොහැකි, අත්දැකීමෙන්ම ප්‍රත්‍යක්ශ කල හැකි ධර්මතාවයක් වග.

බුදුන් වහන්සේගේ ධර්මය පවා අන්තවාදීව ගෙන කීටාගිරියේ තෙරුන් කිහිප දෙනෙක් වෙනම මඟක යද්දී ඒ සම්බන්ධව ආනන්ද හිමියන් සඟ කෙරෙන සාකච්ඡාවකදී මේ කරුන ඉතා සවිස්තරව සටහන් වේ. තමා දෙසූ අනාත්මවාදය පවා දිට්ඨියක් ලෙස ගෙන එහි එල්බ සිටීම බුදුන් වහන්සේ එහිදී අනුමත නොකල සේක.

මේ පොත හැමෝටම හරි යයිද?

පැහැදිලිවම නැත. ඒකට හේතු කිහිපයක් තියෙනවා.

පළමු කාරනය, මෙය නවකතාවක් ලෙස කතුවරයා කීවත්, මෙහි තිබෙන්නේ බුදු සිරිත සහ බුදුනට පෙර හා සමකාලිනව භාරතයේ පැවති සමාජ, ආගමික හා දේශපාලනික කාරනා සම්බන්ධව ඔහු කාලයක් තිස්සේ කල හැදෑරීමෙන් එකතු කර ගත් සටහන් නව කතාවක් නම් භාජනය තුල, කටටම එන තුරු පිරවීමක්. එනිසා මෙය  'කතාවක්' කියවීමට අතට ගත් කෙනෙකුට හරි යන්නෙ නැත. නමුත් ඉහත සඳහන් කාරනා සම්බන්ධව පිපාසයක් ඇති කෙනෙකුට හෝ බොහෝ විට සම්මත කතාවේ විශ්වසනීයත්වයෙන් තොර තැන ගැන විවේචන‍යක් තිබුනු අය නම් බොහොම අභිරුචියෙන් කියවනු ඇත.

මගේ පුද්ගලික අදහස නම් නවකතාව සහ සාරගර්භ අන්තර්ගතය සමබර කිරීමේදී, කතුවරයා කතාවට යම් අසාධාරණයක් සිදු කර ඇති බව‍ය.
මුලදී දෙබස් තුල මේ කරුනු දීර්ඝව තිබීමෙන් කියවීමේ වෙහෙස දැනෙන්නට ගත් අතරේ, පසුව ඒ කරුනු නැවත නැවත සඳහන් වීමෙන් ඒ අන්තර්ගතය වැඩි වශයෙන් දක්නට ලැබීම නිසායි මා ඒ නිරීක්ශනය සිදු කලේ.

අනෙක් මා ප්‍රිය නොකල කාරනය වුයේ මහප්‍රාණ බස ඕනවටත් වඩා ඉවත් කිරීම නිසා ඒ වෙනුවට හඳුන්වා දුන් වචන කියවීමේ කාර්‍ර‍යය විටෙක වෙහෙසකර කිරීමය.
උදාහරණයක් විදියට 'කැත් කුලය' නමින් කතුවරයා නිතර නිතර සඳහන් කොට ඇත්තේ 'ක්ශත්‍රිය කුලය' බැව් වැටහෙන්නට වූයේ මට කතාවේ ටිකක් දුර යද්දීය. එවැනි වචන රාශියක් මෙහි විය.

එලෙසම සාම්ප්‍රදායිකව බුදු සිරිත, අලංකෘත සහිතව අසා පුරුදු සහ එහි දශමයක් හෝ වෙනසක් ඇති වීම නොරුස්සන බෞද්ධ කියවන්නෙකුට ද මේ පොත හරි නොයනු ඇත.
මේ පොතේ කතුවරයා පෙන්වන්නේ ඔහු කැමති කොටස් පමනි. සිදුවීම් පවා අර්ථ දක්වන්නේ ඔහුට රුචි පරිදිය - උදාහරණයක් ලෙස බුදු වෙන මොහොත සම්බන්ධවත්, අභිනික්මන, සතර පෙර නිමිති සම්බන්ධව අප අසා තිබෙන රූප රාමු වලට වඩා වෙනස් ලොවක් කතුවරයා මවා පෙන්වයි. එය හැම කෙනෙකුටම එක ලෙස 'දිරවිය' නොහැකි විය හැකිය. 
නමුත් බුදු සිරිත තුල සිදුවීම වශයෙන් ගතහොත් එකින් එක වුනාද නැද්ද ලෙස වාද කිරීම නිශ්ඵල කාර්‍ය්‍යක් ලෙස වැටහෙන්නෙ, මේ කතා මාලාව තුල ම හරය වෙන සිදුහත් නම් අසහාය චරිතයත්, ඔහු ලොවට බිහි කල දර්ශනයේ විසල් බවත් යන්නේ ගැඹුර අවිවාදිත නිසාය.

එනිසා, කෙටියෙන් කියවූවහොත්, මේ පොත කියවන්නට ඇම්මක් තිබිය යුතුමය. නැතහොත් එක්කෝ නින්ද යනු ඇත, නැතිනම් තරහ යනු ඇත.



බව තරණය ගැන ඉවරයි..
මේ මගේ හොරණෑ කොටස..
මට පුලුවන් විදියට පොතේ කතුවරයා අඳින්න ගත්ත උත්සාහයක්..

ඒ එක්කම මේ දක්වා කියවපු ඔබගෙන් ඉල්ලනවා මා ගොතන වියමනේ ගත යුත්තක් තිබේ නම්, මේ බ්ලොග් එක Follow කරන ලෙස..
දහයක්, පහලොවක්වත් කියවනවා නම් ඉස්සරහට දිගටම ලියන්න මට හිතේවි..
ඒ එක්කම මගේ තව බ්ලොග් එකක් තියෙනවා සයිබර් විපරම කියලා, podcast එකක් එක්ක එකට යන..

ඒකෙත් එකක් දෙකක් අහලා හොඳ නම් Subscribe කරන්න





Comments

  1. විචාරය කියෙව්වා. පොත හොයලා කියවන්න හිතුණා. ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියී දිරි ගැන්වීමට..

      Delete
  2. අපූරුයි ..
    උසස්පෙළ විභාගයට මුහුණ දී, නිවසේ පසුවන කල කියවූවාට,මේ වනවිට අන්තර්ගතය පිළිබඳව පැහැදිලි මතකයක්, දෘෂ්ටියක් සිතේ නෑ.. ඔබේ සටහන නැවත වරක් බවතරණයට මා පෙළඹවූවා .. ස්තුතියි .. තවත් ලියන්න අප වෙනුවෙන් ...

    ReplyDelete
    Replies
    1. ඉතාම සතුටුයි ඔබේ කියවීමේ කාලයට අන්තර්ගතයෙන් සාධාරණයක් වුනා නම්..
      මේ පිටුව Follow කරන්න.. ඉදිරියේදී පොත්, චිත්‍රපට සහ ගීත දක්වා මේ කතිකා ගෙන යාමට සිතා ඉන්නවා..

      Delete

Post a Comment

Popular posts from this blog

A miracle, they say!

හිනාවෙයන් කලු හිනා වෙයන්!

සත්තයි නුඹ ඇවිදින්...