තණමල්විල කොල්ලෙක් ඉවරයි!


තණමල්විල කොල්ලෙක් කතාව ඊයේ රාත්‍රියෙ ඉවර වුනා..අවසාන ෆ්‍රේම් එකෙන් හිත මේ තරම් නිවපු, ඇස් අගට කඳුලක් ගෙනාපු කිසිම ටෙලි නාට්‍යයක් මගේ මතකෙ නෑ..
අපි නිර්මාණ කියලා දැක්කෙම නිර්මාණකරුවා වමාරන උන්ගෙ දර්ශනය.. එලියෙ ලෝකෙ මොකක් වුනත් ඔවුන්ට පෙන්වන්න ඕන දේ උද්දීපනය වෙන න්‍යාය පත්‍රයක් අපි දැක්කෙ බොහෝ විට.
එක පැත්තකින් ගම උද්දීපනය කරලා, අපේ එක තමයි ලෝකෙන් උතුම්ම එක කියලා, විකල්ප දැනුම් සියල්ලට ගරහන අන්තය.. අනෙක් පසෙන් බුදුදහමට, දේශීය අක් මුල් වලට ගරහමින්, සොල්දාදුවා කුලී මිනීමරුවන්, ජන ඝාතක, ස්ත්‍රී දූශක අමනුස්සයන් ලෙස සූක්ශම ලෙස චිතරනය වෙන, වාම වාදී දේශපාලනය අමුවෙන් රිංගන්න හදන අන්තය..
"තණමල්විල කොල්ලෙක්" ඔය අන්ත දෙකම ස්පර්ශ කලේ නෑ - නමුත් එය අපේ හදවතටම සමීප වුනා.. ඇයි ඒ? ඒ කැත න්‍යාය පත්‍ර වලට වඩා ඇත්ත මහ පොලොව කතාව, සැබෑ ජීවන සුවඳ එහි යහමින් තිබුනු නිසයි ඒ.
අපි ආදරය කරන අහිංසකම චරිත වෙන කිතුලා, ලොක්කෙ අයියා මේ කතාවෙ සොල්දාදුවන්..
කෙනෙක් මැරෙනවා.. කෙනෙක් ආබාධිත වෙනවා.. ඒ හරහා අපේ එකෙක්ට ඒක වුනා වගේ දැනෙනවා.. උන්ට ගරහන්නෙ නෑ, ආදරය කරන්නයි පොළබවන්නෙ.. නමුත් කතාවෙ යුද්ධෙ උත්කර්ශය කරන්නෙත් නෑ කිසිම තැනක. මේ අහිංසක ජීවිත එතැනට තල්ලු වෙන හැටි පෙන්නුවත් කිසිම විටෙක ඔවුන්ව රකුසන් කරේ නෑ..
ගමේ පංසල ඇතුලෙ, දායක සබා ඇතුලෙ තියෙන ප්‍රශ්න, තාම තියෙන කුල භේදය ආශ්‍රිත ගැටලු පෙන්වන ගමන් දීප්තගෙ තාත්තා, පන්සලෙ ලොකු හාමුදුරුවො හරහාත් (මූලිකව දීප්ත හරහාත්), බුදු දහමින් ලැබුනු නිවිච්ච කම අඩු නැතුව පෙන්වනවා.. (ඒ නිවුනු බවට රූපකයක් විදියට බුදු පිලිමය බොහෝ තැන්වල යොදා ගත් හැටි අපිට දකින්න පුලුවන්..)
කුල පීඩනයෙන් බැට කෑ, දීප්තගෙ එක යාලුවෙක් මහන වෙන්නෙ අධ්‍යාත්මික ජීවන දර්ශනයක් හරහා සසර කෙටි කර ගන්න, නමුත් අවසන් වෙන්නෙ, සිවුර දරාගෙනම භෞතික ලෝකෙ මායාවන් පස්සෙ දුවමින් නැවත කවි බන බිස්නස් එකක් කරන, සිවුරු හැරපු චරිතයක් කරමින්. කලු, සුදු චරිත එතනත්. එහෙම තමයි ඇත්ත ලෝකෙ.
තව තැනක වීදී නාට්‍ය කරන, දීප්තට සිස්ටම් එකෙ අවුල ගැන තෙල බෙදන යාලුවා වීදී නාට්‍ය කන්ඩායමට, බජට් ප්‍රශ්න නිසා වතුර උගුරක්වත් දෙන්නෙ නැති වෙලාවෙ, කිතුලා කියන සුන්දර සොල්දාදුවා, "අනේ පව් එයාලා අව්වෙ කියලා' යෝගට් අරන් දෙනවා. කිතුලා ෆෝන් එකට ගන්නෙ ලේ රතු පාට ෆෝන් කේස් එකක් හැබයි. කිතුලා යුද්දෙන් මැරෙනවා. වීදි නාට්‍ය කන්ඩායමේ නායකය ඇමති කෙනෙක්ගෙ කැම්පේන් එක කරන ජොබ් එකකට සෙට් වෙන ගමන් රස්සා අරන් දෙන්න හවසට කෙල්ලො හම්බු වෙන විදිය ගැන කෝල් ගන්නවා.
කොලඹ ආවත් වෙනසක් නෑ. දේශපාලනිකව, අවංකව තම මතය වෙනුවෙන් ඉන්න, අතේ පිච්චිය නැති ඒත් සුන්දර චන්ද්‍රකුමාර වගේ මිනිස්සු වගේම, තමන්ගේ දැනුම අශිෂ්ට විදියට යොදාගෙන, අනියම් සබදතාවයක් වෙනුවෙන් කෙනෙකුගෙ ලිංගික බෙලහීනත්වයක් පවා නිර්ලජ්ජ ලෙස මතු කරමින් වචන වලින් මිනී මරන්න පුලුවන් අමරකීර්තිලා වගේ හෙන සිවිල් එකක් තියෙන චරිතත් දීප්ත දකිනවා.
ගම, කොලඹ, යුරෝපේ, අපි කොහෙත් ඉන්නෙ හරි යන, වැරදෙන මිනිස්සු. කලු කියලා හංවඩු ගහපු සුන්දර චරිත. සුදු කියලා පෙනී ඉන්න කලු චරිත.
නමුත් ඒ කොහේ කරක් ගහලා ආවත්, අපිට ජීවාත්මය දුන්න, අපේම වෙච්ච මිනිස්සු සහ සම්ප්‍රදායක් අපට තියෙනවා.. ඒවායෙ අඩු පාඩු ඇති.. ඒවා ලෝකෙන් උතුම්ම මෙව්වා එකක් කියලා උඩ නොදැම්මට, නිර්මාණ නාමයෙන් ඒවට ගරහන්න ඕනෙ නෑ..වැරදි වැරදි ජීවිතේ තාමත් අරන් යන, දුවගෙන ඇවිල්ලා " අඩෝ බොක්ක" කියලා බදා ගන්න පතෝලයා, කූරා වගේ මිනිස්සුත්, ජීවිතේ දෙස උපේක්ශාවෙන් බලන්නට හුරු කල අර සුදු පාට බුදු රුව වගේ හිත නිවන්න පුලුවන් උතුම් දහමකුත් අපි එනකන් බලාගෙන ඉන්නවා..
දීප්තගෙ තාත්තා අර මඩුවෙ ඒ පිලිමය නෙලන වෙලාවෙම, දීප්ත යුරෝපෙ, තට්ටු නිවාසෙක ඒ චිත්‍රෙම ඇඳලා..
සම්ප්‍රදාය නවතින්නෙ නෑ.. ඒකෙ සාරය රැක ගෙන ඉදිරියට යනවා..ඒක උඩ දාන්න, ගරහන්නෙ නැතුව එයින් නිවී සැනසෙන්නට කියලා අවසන් රූප රාමුවෙන් කියලා දීලා, ඒ අප්‍රකාශිත පරිච්ඡේදය නිමා වෙනවා..

Comments

Popular posts from this blog

A miracle, they say!

හිනාවෙයන් කලු හිනා වෙයන්!

සත්තයි නුඹ ඇවිදින්...