හිනාවෙයන් කලු හිනා වෙයන්!

මේ සටහන කෝච්චි හෑල්ලක්. දැන් අපිට දවස් තුනක් වැඩට යන්න වෙනවා. Working from home මධුසමය සීමා කරලා 😊

මෙය මම මගේ ෆේස්බුක් පේජ් එකේ දාන ගමන් දිනියස් group එකෙත් දැම්මා. (පස්සෙ සිනමාවේදීන් පිටුවෙත් දැම්මා). ඒ හරහා මට මේ වගේ මත ගැන පොදුවේ බුකියේ මතවාද ගැන අප්ඩේට් වෙන්නත්, එයට මතවාදීව දායක වෙන්නත් ලැබෙනවා.

බොහෝ දෙනෙක් මෙය කියවා ඉතා positive ප්‍රතිචාර ලබා දීමට අමතරව share කරලත් තිබුනා. 

 මගේ බුකි පිටුවෙ ඉන්නෙ බහුතරයක් මගේ වයසට කිට්ටු අය නිසාත්, ඒ අය අතර මට හිතවත්කම හරහා ලැබෙන ගෞරවය නිසාත් මගේ පේජ් එකේ තියෙන්නෙ ගෙදර ආලින්දෙ වගේ ශේප් කතිකාවක් 🤓 අර ගෘප් වලට ගියාම හන්දියෙ කඩේ වළ බහින කොල්ලො, බෝක්කු ගාව වෙන වැඩක් නැතුව ටෝක්ස් දෙන මිනිස්සු එක්ක ඔහේ කතා කරා වගේ ගතියක් දැනෙනවා. අනික selfish ලෙස මට මගේ ලියමන් වලට ඇලුම් කරන කිහිප දෙනෙක් හෝ මාව සොයා ගෙන එන්නත් ඒකෙන් අවස්ථාව උදා කරනවා. ඉදිරියේදී බිකිය වෙනුවට මේ බ්ලොග් එකේ වැඩියෙන් ලියන්නට හිතා ඉන්න නිසාත් මට එහෙම audience එකක් හැදෙන එක strategically ආයෝජනාත්මකයි.

ඔන්න එහෙනම් හෑල්ල. අර ලින්ක් ටිකත් අන්තිමට ඇඩ කරන්නම්. ඒ හරහාත් මේක සෑහෙන ලෙසින් සමාජගත වුනා සහ හොඳ කතිකාවන් බිහි වුනා. මම ලියුව විදිය හින්දද මන්දා මට 'ගල් කාරයෙක්', ' සමනලයෙක්' කියලා කාඩ් වැදුනෙ නෑ. (එහෙම වෙයි කියලා හෙල්මට් දාන් ලිව්වෙ.)
#ඔයින්ගියාමදැයි

*********

මගේ office එකේ අවුරුදු ගානකට කලින් සමලිංගික ගැහැනු ළමයෙක් හිටියා.
ඇන්දෙ ඇවිද්දෙ කතා බහ කරේ කොල්ලෙක් වගේමයි. Technical Role එකක හිටියෙ, ඒකෙ පරතෙරටම දන්නවා. වැඩි කතා බහක් නෑ, අදාල වැඩේ නිහඬව සුපිරියටම deliver කරනවා.

විදියෙන් සම්මත gender identity එකේ නොවේ කියලා තේරුනත්, ඒ ගැන කිසි දිනක අපි එයාගෙන් ඇහුවෙත් නෑ, එයා කිව්වෙත් නෑ. කොහොමත් රස්සාවෙ තියෙන්නෙ වෘත්තීමය සම්බන්ධයක් නිසා ඔය දේවල් දැන ගන්න අපිට එහෙම උවමනාවක් තිබ්බෙත් නෑ. 

ඒත් දවසක් ' We now have a baby' කියලා එයාම එයාගෙ 'බිරිඳ' සහ බිරිඳට ලැබුනු දරුවගෙ රූපයක් පෙන්නුවා. එදා තමා ඇත්තටම එයාට same-sex partner කෙනෙක් ඉන්න වග දැන ගත්තෙත්.

කොහොම හරි එයා රස්සාවෙන් අස්වෙලා  යන දවසෙ, සුපුරුදු විදියට coffee එකක් ගන්න ගමන්  අර වෙනද තිබුන නිහඬ බව බිඳලා එයාගෙ විස්තර ටිකක් කිව්වා.

ඇය සිංගප්පුරුවෙ ඉපදුන කෙනෙක්. ඇයගෙ සහකාරියත් සිංගප්පුරුවෙ. සම්බන්ධෙට මුලින් ගෙදරින් විරුද්ධ වුනත් පසුව ඔවුන්ගෙ ආශිර්වාදය ලැබුනලු. 

ලඟදිම බබා බලන්න ඇගේ දෙමාපියන් මෙල්බර්න් එන වග ඇය සඳහන් කලේ පුදුම සතුටකින්. බබා ලොකු වෙන විදියත්, ඉස්සරහට එයාට අම්මලාම දෙන්නෙක් ඉන්න විදිය ආදිය පැහැදිලි කරන්න හිතා ගෙන ඉන්න විදිය ආදිය එහෙම ගැනත් විවෘතව ම කිව්වා. 

ඒ දක්වා ඒ අය අපිට වඩා වෙනස්ම මිනිසුන් ලෙස (කෙලින්ම මුහුනට නොකීවත්)  හිතා හිටි  මට,  වෙනස් කම් වලට වඩා අපි අතර තියෙන්නෙ එකම සිහින සහ බලාපොරොත්තු නේද කියලා තේරුම් ගන්න  මේ සිද්ධිය හේතුවක් වුනා.
ඇයට අමතරව ඊට පසුව රැකියා ස්ථානයේ ඒ වගේ තව කිහිප දෙනෙක් හමුවුනා. ඒ සියල්ලන්ම ඇත්තටම සුන්දරම සහ අහිංසක මිනිස්සු.

ගැහැනු, පිරිමි ලෙස සම්මත ලිංගික නැඹුරුතා වලට වෙනස්ව ස්වභාවිකව හෝ තම තෝරාගැනීම මත හෝ වෙනස් ලක්ශණ පෙන්වන මිනිසුන් සමාජේ ඉන්නවා. අපේ පාලනයෙන් තොර ලෝකයේ ඒක යථාර්ථයක්. 

ඒ සම්බන්ධව ඔබට මට එක එක සාමාජීය, සංස්කෘතිමය හෝ සදාචාරාත්මක මත තියෙන්න පුලුවන්.  මේ කතා කරන්නෙ ඒ ගැන නොවේ. අපි හැමටම මිනිස්සු විදියට එකඟ වෙන්න පුලුවන් සරල කාරනාවක් මතු කරන්නටයි මේ සටහන (විශේෂයෙන්ම බටහිර ප්‍රධාන ධාරාවේ මාධ්‍ය හරහා සහ ලිබරල් කතිකා තුල මේවාට ලබා දීලා තියෙන overdose වුනු political correctness උලුප්පා දැක්වීම හෝ Pride සංදර්ශන  ගැන නොවේ කිසිසේත්ම. ඒ ගැන මට තියෙන්නෙ වෙනම මතයක්. ඕනෙ නම් ඒක වෙනම කතා කරමු) 

මේ කියන්නෙ බොහොම සරල කරුණක්.
ඒ  'මිනිසුන්ට' සමාජයක් විදියට අපි දක්වන ප්‍රතිචාරය හෝ සැලකීම කොහොම වෙන්න ඕනෙද කියන එක. 

මට මතකයි අපි පාසල් යන කාලෙ ටිකක් හරි ගැහැනු ලක්ශණ පෙන්වන කොල්ලන්ටත්, පිරිමි වගේ කෙල්ලන්ටත් අනෙක් ළමයි අතර තිබුනු ආකල්පෙ. ඒක ඇත්තටම ගර්හාව මුසු bully කිරීමක් කියලා ආපහු හැරිලා බලද්දි හිතෙනවා. ඒ විහිලු අපහාස දකිද්දි, ඒවට හුරේ දැම්මා මිස,  අපිට ඇයි සහකම්පනයක් (empathy) දැනුනෙ නැත්තෙ කියලා මම දැන් කල්පනා කරනවා.

Empathy කියන්නෙ අනිකාට දැනෙන දේට සවේදීව ඔවුන්ගේ  පැත්තෙන් බලලා ඔවුන්ව තේරුම් ගැනීම.

මට හිතෙනවා ඔය පස්සෙ ඉංග්‍රීසියෙන් පරිවර්තනය වූ  සහකම්පනය කියන වචනෙට වඩා මාර ගැඹුරක් තියෙන ලස්සන වචනයක් අපේ සමාජෙ ඉස්සර ඉඳලා තියෙනවා කියලා. ඒ තමයි "මුදිතා"ව (Sympathetic Joy).

 ඉන් කියවෙන්නෙ තව කෙනෙක්ගෙ සතුට දැක සතුටු වෙන්න පුලුවන් වෙන එක. (ඒක  හුදු තේරුම් ගැනීමකට එහා ගිය ඒකාත්මික වීමක්).
 ඒ තුල කියවෙනවා, ඒ සතුට තමාට පරිබාහිරින් දැක, ඒ බාහිර පුද්ගලයා වෙනුවෙන් සතුටු වෙන්න පුලුවන් මානයක්. එය තුල ඉතා සූක්ශමව 'මම' දිය වෙනවා.
 
අපි අනෙකෙක් (the other) හදා ගන්නෙ 'මම' ට සාපේක්ශව. එතකොට අපිට වඩා වෙනස් ගති පැවතුම්, ශාරීරික හැඩ හුරුව, විශ්වාස, මතවාද හෝ තෝරා ගැනීම් තියෙන අයව අනෙකෙක් ලෙස දකිනවා. අපි සලකන විදිය ඒ අනුව වෙනස් වෙනවා.

මුදිතාව තුල ඒ වෙනස්කම පරයා, මිනිසුන්ට මෙත් සිත පතුරවන්න, ආදරය, සෙනෙහස දෙන්න, ඒ අයට හොඳක් පතන්නට පුලුවන් ඉඩක් මතු කරනවා. 

අපිට වඩා වෙනස් වූ පමණින්, කිසි කෙනෙක් ගර්හාවට ලක් විය යුතු නෑ.  නමුත් මේ කතා කරන මාතෘකාව හෙන taboo.   ඒ කියන්නෙ ලිංගිකත්වය ආශ්‍රිතව ගැටගැහුනු වාරණ සහ සංවෘත බාවය එක්ක, අත්‍යන්තයෙන්ම කියන සරල දේ ඉක්මවා ගියපු තම තමන්ගෙ ඔලුවල තියෙන අරටුගත ආකල්ප එලියට එන අවදානමක් තියෙනවා.

මේ වගේ දෙයක් සාමාන්‍ය සමාජයේ කතා කල ගමන් එන ප්‍රතිචාර මොන වගේද කියලා නිකමට හිතන්න බලන්න. 
"ආ දැන් උඹත් ඒ සබ්ජෙක්ට් එකේ නේ", "සමනල සීන් එකේද ඔයත්?" "දැන් ඕවද සමාජෙ ප්‍රශ්න?" "උඹලත් සංස්කෘතිය විනාශ කරන මේ දේවල් අනුමත කරනවනේ" - ඔය ලැයිස්තුව හෙන දිගයි.
ඒ නිසා මේ කතිකාව හෙන අමාරුයි. 

මේ කියන්නෙ අපිට වඩා වෙනස් ඒ මිනිසුන්ට මිනිසුන්ට වගේ සලකමු කියලා මිසක, ඒ අය වගේ වෙන්න යෝජනා කිරීමක් හෝ වෙන කිසිම ඉටි ගෙඩියක් අනුමත කිරීමක්වත්, විවේචනය කිරීමක්වත් හෝ නොවේ කියලා කොහොම කිව්වත්, taboo subject එකකදි එලියට එන්නෙම අපි කාගෙ කාගෙත් ඔලුවල තියෙන මනස්ගාත.

මේ වගේ දෙයක් ඒ නිසා කතා කරන්න සුදුසුම මාධ්‍ය තමා, කලා නිර්මාණ. එතකොට වාද, විවාද වෙනුවට මිනිස්සුනට තමන් එක්කම සමහර සමාජ සන්දර්භ දෙස ඇතුලට හැරුනු විග්‍රහයක් කරන්න ඉඩ අවකාශ නිර්මාණය වෙනවා.

මේ දවස්වල ITN එකේ 'කොඩි ගහ යට' ටෙලිනාට්‍යය විකාශය වෙනවා. ජගත් මනුවර්ණගෙ පලමු ටෙලි නාට්‍යය නිර්මාණය වෙන මේ කතාව එහි රංගන වේදීන්ගේ අති විශිෂ්ට රංගනය සහ කතා තේමාවේ නැවුම්බව නිසා සෑහෙන කතා බහට ලක් වෙනවා. එහි සුලු චරිත පවා ඉතා ප්‍රශස්ත රංගනයක යෙදෙන නිසාදෝ, එය බලද්දි කතාවකට වඩා ඇත්තම මහ පොලොවෙ මිනිසුන් අභිමුඛ වීමක්දෝයි වෙලාවකට හිතෙනවා.
ඒ කතාවේ 'කලු' කියන්නෙ එහි මේ දවස්වල වැඩියෙන්ම කතා බහට ලක් වුන චරිතය කිව්වොත් එය අතිශයෝක්තියක් නොවේ. හේතුව කලු කියන ගැහැනු චරිත ලක්ශන පෙන්වන පිරිමි චරිතය, එය නිරූපනය කරන නලින් ලුසේනා කියන රංගන ශිල්පියා ඉතා තාත්විකව ජීවමාන කරන ආකාරය. 

මේ වගේ චරිත හෙන අභියෝගාත්මකයිනෙ. ලේසියෙන්ම overacting වලට යන්න පුලුවන්. 
අපි බොහෝ විට දකින්නෙත් overacting හරහා ඒ වගේ චරිත හාස්‍යයට ලක් කිරීම් නෙ. ගොඩක් කතාවල ඒ වගේ චරිතයක් දාන්නෙම මිනිස්සුන්ට කුනුරසය එක්ක විනෝදයක් ලබා දෙන්න.

'කොඩි ගහ යට' කලු කියන්නෙ හිනාවට ලක් වෙන චරිතයක් නොවේ. ආදරණීය චරිතයක්. ජීවත් වෙන්න මාර ගේමක් දෙන, තමන්ගෙ අයට පට්ට ආදරේ සහ තමන්ට රිදවන්න එන අය ඉදිරියේ කාලි වගේ වෙන්න පුලුවන් හරිම අපූරු චරිතයක්. ( හින්දු වේදයට අනුව කාලි කියන්නෙ පීඩිත මිනිසුන්  වෙනුවෙන් යුක්තිය ඉටුකිරීමට යක්ශ වේෂයක් ගන්න පුලුවන් දෙවඟනක්)

මේ කතාව බලන කෙනෙක්, කලු වෙනුවෙන් සහකම්පනය වෙනවා. හිරේ ඉඳලා එලියට ඇවිත්, අපි ඔබ වගේම ජීවිතය රැකගෙන, හොඳ මිතුරියක් මෙන් සමීපතයන්ට ආදරය ලබා දෙන ඔහුට නොදැනම ප්‍රේක්ශකයා බැඳෙනවා. හොඳක්ම පතනවා. මා මුලින් මතක් කල මුදිතා ගුණය එයයි.

කලා නිර්මාණෙකට එක රැයින් සමාජ ආකල්ප වෙනස් කරන්න බෑ. එහෙම ඕනෙත් නෑ. නමුත් ඒ වගේ කතාවකින් ලොකු වාද විවාද සීයකින් කරන්න බැරි පනිවිඩයක් ඔලුවට දෙනවා.

පාරක දකින අහිංසක සතුන්ට ආදරේ කරන, වැඩිහිටියන්ට ගරු කරන, ආබාධිතයන්ට ගරු කරන සම්ප්‍රදායක් උරුම අපේ දරුවන්ට ඒ කතිකාවන් හරහා තවත් update වෙන්න පුලුවන් වෙන්න හැකි නම්!!

මිනිසුන්ගේ ශාරීරික වෙනස්කම් වලට තට්ටයා, කොටා, කොරා, පොට්ටයා ආදි ලෙස නම් කරන, මිශ්‍ර පාසලේ ඔසප් වුන සිසුවියට සමච්චල් කරන, මහ මඟ පොත් තුරුලු කරන් බිම බලා යන පාසලේම, පන්තියේම සිසුවියන්ට රංචු පිටින් සූ සූ ගසමින් පස්සෙන් යන කොල්ලන් වෙනුවට, නියම පිරිමිකම නම් මේ සියල්ලන්ට ආරක්ශාවක් ලබා දිය හැකි පෞරුශයක් ඇති පරපුරක ආගමනය අපට දුරද!

කොටින්ම අපි වගේ නොවන, අපේ මතය නොදරන  මිනිසුන්ටත් අපි වගේම කරදරයකින් තොරව ජීවත් වීමේ ආසාව සහ අයිතිය ඇති බව තේරුනත් ඇති.  එදාට එකඟ නැති කමෙන්ට් වලට අමු කුනු හරුප පිලිතුරු වෙනුවට ශිෂ්ට වැඩිහිටියන් ලෙස කමෙන්ට් කරනු ඇති. නිලියන් සමබන්ධ පොස්ටු හරහා ලිංගික ඇරියස් cover කිරීම් වෙනුවට ඒ සිදුවීම පසු පස ඇති යථාර්තය ගවේශනය කරනු ඇති.

කලුගෙ කතාවකින් සටහන නිමා කරමි.

අනවසරයෙන් නිවසට කඩා වදින සල්ලාලයන් තිදෙනෙක් නිවසේ සිටි යුවතියට කරදර කරන මැද්දට කලු පැමිණෙන්නේ ඇයව අත හරින ලෙස ඔවුන්ගෙන් කරුණාවෙන් ඉල්ලමිනි.
එකෙක් කලුව නිහඬ කරන්න හදන්නේ අපහාසයෙනි.
"අඩෝ පො*නයා".

මේ මොහොතේ කලුට කාලි ආවේශ වේ. සැණෙකින් එකෙක්ට හිසින් පහරක් ගසා අනෙකාගේ අහවල් එකෙන් අල්ලා තමා වෙතට ඇද ගන්නා ඔහු මෙසේ ගුගුලන්නේය.

"ඔව්, මම පො*න්නයෙක් තමයි යකෝ. උඹ පිරිමියෙක්ද? පිරිමියෙක් වෙන්න කලින් මනුස්සයෙක් වෙයන්!"

*******



 

Comments

  1. ලංකාවේ මිනිස්සු පට්ටම ගෝත්‍රිකයි, සිංහල රජෙක් බිහිකරගේ කෙලව ගත්ත ජාතියක් නේ ඉන්නේ..

    ReplyDelete
    Replies
    1. අපේ අවුල කොච්චර්ද කියන්නෙ, ලංකාවෙ රැඩිකල, ලිබරල් කියන සෙට් අතර පවා තියෙන්නෙ, අර අවුල්වලම ප්‍රකාශනයක්..
      ඒක ඇත්තටම මාර අවාසනාවක්!

      Delete

Post a Comment

Popular posts from this blog

A miracle, they say!

සත්තයි නුඹ ඇවිදින්...