කොකාවල සර්ට ආදරෙන්...

" ලබන සතියෙ ඉඳලා ඔයාලට සිංහලවලට අලුත් සර් කෙනෙක් එනවා"

 මෙහෙම කිව්වෙ අපේ අංශ භාර ගුරුතුමා මට මතක විදියට, මේ 10G පංතිය වෙන්න ඕනෙ..

 "සර්ගෙ නම කොකාවල" මුලු පංතියම බකස් ගා හිනා වුනා කියලා මට හොඳට මතකයි. මිනිස්සුන්ගෙ නමට හිනා වෙන්න එපා කියලා පොඩි තෙලකුත් දීලා අංශ භාර සර් ගියා කියලත් මතකයි..

 කොල්ලො ගොඩාක් ගුරුවරුන්ට අන්වර්ථ නම් දාලා තිබුනා, හොඳ දෙයක් නොවුනත් ඒක එහෙමයි කියලා කියන්න වෙනවා. මුබා, කොකා, පාචනේ, මිදි සහ මුහුදු ආදී නම්.. ඔය අන්තිම දෙක නම් ඇත්තටම අන්වර්ථ නාමෙ මුල කොටස් විතරයි.. සම්පුර්‍ර්ණ එක මෙතන ලියන්නෙ නෑ මැරුවත් ;) .

 කොහොම හරි මට කියන්න ඕනෙ වුනේ අර නමට කොල්ලොන්ට හිනා යන්න ප්‍රධාන හේතුවක් තමා ඒ වෙනකොට හිටපු සිංහල සර් කෙනෙක්ගෙ කාඩ් එක කොහොමත් තිබුනෙ 'කොකා' කියලා, ඉතින් ඇත්තටම ඒ නම තියෙන කෙනෙක් එනවා කිව්ව ගමන් ඉතින් පොඩි ලොල් ගතියක් එන්න ඇති..

 කිව්ව දවසෙ කොකාවල සර් ආවා. අපි දැන ගෙන හිටියෙ නෑ එතුමා ආවෙ අපේ වාසනාවට කියලා. කොහොමත් D එක ශුවර් වුනත්, කිසිම බැඳීමක් නොතිබුනු විෂයක් වෙච්ච 'සිංහල' මෙච්චර රසවත් කියල අපිට මේ 'ගුරු තරුව' උගන්නයි කියලා අපි දැනගෙන හිටියෙ නෑ. බොහොම නිහතමානී, කරුණාවන්ත සහ විෂයේ බොහෝ ඇසූ පිරූ තැන් ඇතිව සිටි එතුමා නිසා 'මාතර හාමිනේ' ගැන කටපාඩමින් වමාරලා D ගන්න හිටපු අපිට, විභාගෙත් අමතක වෙලා අයියනායක දෙයියො කවි ටිකෙන් ඔබ්බට ගියපු සාහිත්‍ය රසාස්වාදය, සංදේශ කාව්‍යවල රසවත් අපි ජීවිතේට අහලා නැති ඉසව්වලට අපිව අරන් ගියේ ඉන්ද්‍රජාලිකයෙක් වගේ.

නිකම්ම බෝරින් සිංහල පීරියඩ් එක, සර් එනකන් ආසාවෙන් බලාගෙන හිටපු තැනට ගෙනාවෙ කොකාවල සර්. මේ කතාව හුදු අතිශයෝක්තියක් නොවෙයි කියලා මගේ අනෙක් රිච්මන්ඩ් සගයන් සාක්ශි දරාවි.
සර් පාසලෙන් පස්සෙ අමතර පංති කරා විභාගෙ කිට්ටුව ළමයින්ට.. සම්පුර්‍ර්ණෙයෙන්ම නොමිළේ.

 පොඩි උදාහරණ දෙකක් කියන්නම් සර් උගන්නපු විදියෙ නැවුම් බව ගැන අවභෝදයක් ගන්න.
 සර් පටන් ගත්තු මුල් ම දවස්වල, සර් අපිට කිව්වා පාඨකයගෙ අවධානය ගන්න ඒ මාතෘකාව පවා රසවත් කරන හැටි ගැන.. අපිට යෝජනා කරන්න කිව්වා 'රත්‍රන් වල වටිනකම' ගැන වාර්තාමය ලිපියකට දාන්න හොඳ හෙඩින් එකක්.. අපි කියපුවා අහලා සර් කිව්වා, මේ ගැන ඇත්තටම ලිපියක් පත්තරේ ගියා සහ සර් දැකපු නිර්මාණාත්මකම හෙඩින් එක ඒක කියලා. මෙන්න මෙහෙම පොල් අකුරෙන් තිබුනලු ලිපියෙ හරි මැද - " ඇයි රත්තරන් ඔය හැටි ගණන්" :D

 සර් අපේ විචාරශීලි පැත්ත වැඩි කරන්න උපක්‍රමයක් විදියට විවාද කන්ඩායමක් හැදුවා.. ඉතාම controversial මාතෘකාවක් දුන්නෙ යෝජක පිලට. "ආගම මිනිසාගෙ සමාජ ප්‍රගමනයට හේතු වේ". මම ප්‍රතියෝජක පිලේ නායකයා. ඒ කියන්නෙ අපේ කන්ඩායමට තිබුනේ ආගම් සමාජයට හොඳක් නෑ කියන්න. මට මතක නෑ කන්ඩායමේ හිටපු අනික් අය නමුත් මට හොඳට මතකයි කිත්ශ්‍රි හිටියා කියලා මොකද අපි දෙන්න එකතු වෙලා, පුස්තකාලයට ගිහින් හොඳ පොයින්ට්ස් ටිකක් පොලිශ් කරගෙන තිබුනෙ විවාදෙ දවසෙ එළියට ගන්න.

 හැබැයි වැඩේ හබක් වුනානෙ.. අනික් ගුරුවරුන්ට ආරංචි වෙලා මෙහෙම විවාදෙකට ලමයි ලෑස්ති වෙනවා කියලා, සර්ට බලපෑම් කරලා තිබුන මේ වැඩේ නවත්තන්න. අපිට ඇත්තටම මාර කළකිරීමක් ආවෙ නමුත් ඉතින් මොනවා කරන්නද? (මේ කාලයේ වෙච්ච ඊට ආශ්‍රිත දේවල් නිසා ඔය සිංහල 'පුනරුදයට' පස්සෙ ' විද්‍යා පුනරුදයකුත්' ඇති වුනා මොකද අපි විවාදෙට ලෑස්ති වෙන අස්සෙ කොවුර්ගෙ පොත් කියවල ඒක ටිකක් ඕවර්ඩෝස් වෙලා හේතුවාදී සංගමයකුත් හදන්න සෙට් වුනා. ඒ ගැන වෙන දවසක කතා කරමු, නැත්නම් මේ හෑල්ල දික් වෙනවා..)

 කොහොමින් කොහොම හරි සර් මේ දේවල් කරේ අපේ සිංහල ගැන තිබුනු ඇල්මැරුනු ගතිය නැති කරලා, විචාරශීලි සහ නිර්මාණශීලි පැත්තකට අපිව ගෙනි යන්න කියලා මට දැන් හිතෙනවා..

 කොකාවල සර් නැති වුනා කියලා විරාජ් අද උදේ රිච්මන්ඩ් විද්‍යලයීය පිටුවක දාද්දී, මේ මතකයන් එක්ක මගේ හිත සලිත වුනා.

ඒ නිහතමානී, දයාබර ගුරු තරුව නිවිලා ගිහින්.. ඒ සේවය වචන කරන්න නොවෙහෙසෙමි.. සර් සිංහල ඉගැන්නුවත් එතුමන් ගැන හිතේ හැටියට ලියන්න බැරි තරම් මම වචන වලින් දුක්පත්!

කොකාවල සර්, ඔබට නිවන් සුව!

Comments

Popular posts from this blog

A miracle, they say!

හිනාවෙයන් කලු හිනා වෙයන්!

සත්තයි නුඹ ඇවිදින්...