කෑම පැයේ ඇය සමඟ...

කෑම පැයේදි වට මේසෙක වාඩිවෙලා කෑම කද්දි, ටිකක් මෑතක වගේ කන්ඩායමට එකතු වුන ඉන්දියානු කාන්තාවකුත් අපේ කතාවට සෙට් වුනා.

එකක් පස්සෙ එකක් කතා කැරකිලා ආවේ අශෝක අධිරාජ්‍යයා ගැන.. ඇය තරමක් දුරට ඉතිහාසය හදාරපු වගක් පෙන්නපු නිසා කතාව ටිකක් රසවත් වුනා..
මම එක තැනකදි කිව්වා, යුද්ධෙ කප්පිත්තෙක් වුන අශෝක රජ්ජුරුවො කලකිරෙන්න තරම් විනාසයක් කාලිංග යුද්ධෙ හේතු වුනා නම් ඒ යුද්ධෙ ඇත්තටම කොච්චර බිහිසුණු වෙන්න ඇත්ද කියලා..
ඒකට එයා එකඟ වෙන ගමන්, ලස්සන දෙයක් මතක් කරා..
"Always the history is written by the Victor" (කවදත් ඉතිහාසෙ ලිව්වෙ ජය ගත්තු කෙනා) කියලා..
කතාව එතනින් ඉවර වුනත්, මට හිතෙනවා මෙන්න මේ විදියට අපිට ඒක ඉදිරියට ගෙන යන්න තිබ්බා.. අපි ඇයගේ නම භාරතී කියලා හිතමු (සත්‍ය නම නොවේ)
"භාරතී, ඔයා එහෙම කිව්වට, මෑත ඉතිහාසෙ ගත්තොත්, ලංකාවෙ නම් ඉතිහාසෙ ලියන්නෙ දිනපු අය නෙවෙයි.."
"ඒ කොහොමද ඒක වෙන්නෙ, පැරදුනු අයට say එකක් නෑනෙ පැරදුනාට පස්සෙ"
"ලංකාවෙ යුද්ධෙ ඉවර වෙද්දි මිනිස්සු මැරුණු ගාන, මැරුනු හැටි, මොන වගේ ආයුධ ද පාවිච්චි කරේ, ඒ ගැන යූ.එන් වගේ තැන්වල කියවෙන්නෙ මොනවද, කව්ද ඒවට කතා කරන්න යන්නෙ, කොටින්ම ඉන්ටර්නෙට් එකේ යුද්ධෙ ගැන සර්ච් කරොත් එන්නෙ උඩටම දිනපු අය කියන දේද, පැරදුන අය කියපු දේද දැක්කොත් ඔයාට මම කියන එක තේරෙයි"
"ඒක හරි කතාවක්නෙ.. එතකොට දිනපු පැත්තට ඕන මඟුලක් කියපල්ල කියලා දිනපු ඔයාලා බකන් නිලන්ද ඉන්නෙ?"
"මෙහෙමයි, යුද්ධෙ රජයේ හමුදා දින්න තමා නමුත් ඔවුන් දැන් ඇත්ත තේරුම් අරන් ඉන්නෙ. ඒ අය යුද්ධෙ කරපු විදිය ඒ අයට කියලා දෙන්නෙ බලවත් මිතුරු රාජ්‍ය.
ඒ අය අපිට නරකක් කරන්නෙ මොන ඉටි ගෙඩියක් අපෙන් ගන්නද?
ඒ දවස්වල ඉරාකෙ සමූල ඝාතක අවි හොයලා මුලු ලෝකෙම ඒ ව්‍යසනයෙන් බේරා ගත්තා වගේ, අපි කොහොමද මිතුරු, සතුරු ආකල්ප අත හැරලා ' යාලුයි අපි යාලුයි' කියන තැනට එන්නෙ කියලා අපිට ටියුශන් දෙන්නෙ ඒ උත්තමයො.. ඒ වෙනුවෙන් ගන්න ඕනෙ ඕනෙම අමාරු තීන්දුවක් වෙනුවෙන් ඒ අය ඉන්නවා .. ඇත්තටම කඳුළු එනවා භාරතී පියෙක් ලෙසට දෙන උපදෙස් මතක් වෙද්දි.. අපිට විරුද්ධව UN එකේ resolution එකක් ගෙනාවත්, භාරතීගෙ රට විරුද්ධ වෙන්න හිතුවත් අපි ඒකට අත් දෙකම උස්සලා සපෝට්..අපිට ඒ තරම් ශුවර් ඒ උත්තමයො"
"ඔයා කොච්චර කිව්වත් මරාගෙන මැරෙන බෝම්බ කාරයො දාලා මිනිස්සු කෑලි කෑලි කරපු, ගම්මාන වලට පැනලා පොඩි එවුන්, ගර්භනී අම්මලා පෙති ගහපු trauma එක දැකපු, අහපු මිනිස්සු .."
"අනේ නිකන් ඉන්න භාරතී, අපේ රටේ මිනිස්සු මේවා අමතක කරලා මනුශ්‍යත්වයේ නාමයෙන් එකතු වෙන්න හදද්දි, ඔයා මේ පරණ තුවාල අවුස්සන්නෙ ඇයි.. අපේ උතුරෙ තරුණයොන්ට දකුණෙ තරුණයන් ප්‍රතිමුඛ වුන සන්ධර්භය පවා ඛේදනීයයි.. පැවති සමාජ ආර්ථික යතාර්ථයන් හමුවේ, ඔවුන් වෙත මුදා හරින ලද පිඩනය විසින් ඇති කරන ලද හෙජමොනික වාස්තවිකය විසින් ඒ පීඩනය මුදා හරින තැනට ඔවුන්ව යොමු කරා, ඔවුන් ත්‍රස්තවාදීන් කියා ලේබල් කරද්දි, ඔවුන් ව හුදකලා කරද්දි, ඒ වෙතට ඔවුන් යොමුවුන සන්දර්භය ඔයාලා ප්‍රශ්න කරන්නෙ නෑ.. ඒ දැවැන්ත මර්ධන යාන්ත්‍රණය හමුවේ...."
" හෝව්, හෝව්.. මට තේරෙන විදියට කියන්න, යුද්ධෙ නවතින්න කලින් වෙච්ච සිදුවීම් ගැන ඔයාගෙ කියවීම මොකක්ද?"
"තමන්ට අසාධරණයක් වුනා කියලා ඒ මිනිස්සු ආයුධ ගත්තා.. ඒ සටන මහා බියකරු යුද්ධයක් වුනා, තමන්ගෙ පණිවිඩය මහා ජාතියට දැනෙන්න ඔවුන් අරගල කරා.. පොඩි එකාගෙ ඉඳලා, මහල්ලා දක්වා ආයුධ අතට ගත්තෙ බලහත්කාරයෙන් නේද වගේ ගෝත්‍රික ප්‍රශ්න අහන්න නරකයි.. ඔව්.. ඒ අය අරගලයක් කරා, ඒකෙන් වෙච්ච හානිය කතා කරන එක මේ වෙලාවෙ කාටවත් සෙතක් නෑ.. ඒක counter productive."
"පැහැදිලියි. ඒ ආයුධ දරා ගත්තු අයට සමාව දීම ආදිය මගින් මිත්‍රත්වයේ දෑත දිගු කරලා, ඒ තුවාල සුව කිරීම.."
"හරියට හරි භාරතී, මරාගෙන මැරෙන්න ආපු මිනිහා දිහා මෙත් සිතින් බලමු.. එකම රටක මිනිස්සු දෙකට බෙදිලා කර ගත්තු විනාසෙ ඇති.. හරි නම් ඒ අය සියලු චෝදනා වලින් නිදොස් කොට නිදහස් කරන්න ඕනෙ.. ඒ කැපකිරීම කරෙ නැත්නම් මේ වාර්ගික ප්‍රශ්නෙ ආපහු එනවා.. තුවක්කු අරන් ආපු අය අතට මල් මිටක් දෙන්න ඕනෙ.. මේ සතුරු ආකල්ප විසි කරලා උතුර දකුණ යා කරන පාලම හැදෙන්න එතකොට.. "
"හරිම ලස්සනයි අනේ.. මම හිතන්නෙ ඔයාල ලෝකෙටම ආදර්ශයක්.. පරණ එදිරිවාදිකම් අමතක කරලා, දෙගොල්ලන්ම.."
"ඔයා මඟුලක් කතා කරනවා. කව්ද දෙගොල්ලන්ටම ආදාලයි කිව්වෙ ඒක? අනික කව්ද හැම දේම අමතක කරන්න කිව්වෙ?"
මට මාව පාලනය කර ගන්නට නොහැකිව අත පය වෙව්ලන්නට පටන් ගත්තේය.
"අමතක කරන්න කිව්වෙ කැරලිකරුවන් අතින් අවුරුදු තිහක් විතර තිස්සෙ වෙච්ච දේවල්.. යුද්ධෙ අන්තිම කාලෙ වෙලා තියෙන ඒවා අපි දැන ගත්තෙ පස්සෙනෙ.. එවා අමතක කරොත් අපිට හෙන ගහයි..
ඔයා කියන්නෙ, අහිංසක මිනිස්සු මෙන්න මෙහෙම එක පැත්තක ඉස්කෝලෙවල, ඉස්පිරිතාලෙ ඉන්නකොට, කොටි වෙනම එකට ඉන්නකොට, ආමි එකේ එවුන් අර කොටි බේරලා ඉස්කෝල, ඉස්පිරිතාලවලටම මෙන්න මේම, මෙන්න මේම මල්ටි බැරල් වලින් ගහලා තියෙන්නෙ..
රසායනික අවි වලින් ගහලා එළවා එළවා.. මහ නුගත්, ආයුධ අත දරා ගත්තු තිරිසන්නු, අපේ අය මිහි මත දෙවියො කිය කිය උඩ දැම්මට..උන්ට දැඩි දඬුවම් දෙනකන් මේ දේවල් අමතක කරන්න නරකයි"
"එහෙමයි යුද්ධෙ වුනේ කියලා ඔයාල සාක්ශි ඇතිව හොයාගෙනද ඔය කියන්නෙ?"
"අපි නෙවෙයි.. පැරදුනු කට්ටිය තමා එහෙම කියන්නෙ.. අර මම මුලින්ම කිව්වෙ, ඒ අය තමා ඉතිහාසෙ ලියන්නෙ.. අපි ඕක නෑ කියන්න ගියොත් සංහිඳියාවට හානියක්.. අනික ඉතින් ඔය බොරු කියලා ඒ මිනිස්සු මොනවා ගන්නද? ඔන්න වෙනම රාජ්ජයක් වත් ගන්න පුලුවන් නම් කමක් නෑ" කියා මම මහ හඬින් හිනා වුනා මුත් භාරතී සිනා නොවුවාය.
"මට දැන් තේරෙනවා, අමතක කිරීම සහ සමාව දීම කියන එක අදාළ පැරදුන පාර්ශවයට'
"ඔය දිනුම, පැරදුම කියන එකටත් මම කැමති නෑ භාරතී. යුද්ධෙ ජයග්‍රාහකයෙක් නෑ. අපි හැමෝම පරාදයි.. එකම රටක උතුර දකුණ ගහ මරා ගත්තා කියන්නෙම අපි පරාදයි" මම දිග සුසුමක් හෙලුවෙමි.
"මට මේක තේරුම් කරලා දෙන්න. මට හිතෙනවා ඔයා නෙවෙයි ඔය කතා කරන්නෙ. මොකද්ද බලෙන් ඔලුවට දා ගත්තු බොරු හෙල්මට් එකක්, ඒකෙ බරටම ඔයාගෙ ඔලුව පහත් වෙලා.. ඔය හෙල්ම්ට් එක විසි කරල ම්ට කියන්න, මේ විනාසෙ, මරණය නැවතුනාට ඔයාට සතුටු නැද්ද? මේ මොහොතේ උතුරෙ දකුණෙ මිනිස්සු කෑලි වලට කුඩු වෙන්නෙ නැතිව නිදහසේ ඉන්න එකට ඔයා කැමති නැද්ද?"
"යුද්ධෙ ජයග්‍රාහකයෙක් නෑ"
"ඔය කට පාඩම් කර ගත්තු කෙහෙම් මලක් නෙවේ. මේ මොහොතේ මිනිස්සු මැරෙන්නෙ නැති එක ගැන ඔයා කතා නොකර ඇයි මේ මහප්‍රාණ කතාවලින් මගේ ප්‍රශ්නෙ මග අරින්නෙ?"
"මට ඕනෙ නෑ යුධවාදියෙක් වෙන්න.. මම කතා කරන්නෙ මානුශිකත්වය..ඒකට පාට, ජාති අදාළ නෑ"
" ඔන්න ඔයා තැනට ආවා.. යුද්ධෙ අවසානෙ සමරනවා කියන්නෙ ඔයා යුද්ධෙ උත්කෘශ්ට කරනවා කියලා කව්ද කිව්වෙ..සමරන්නෙ ජීවිත දේපල විනාසයේ අවසානය නම් මොකක්ද ඔයාට ඔච්චර ඌයියා? .."
"යුද්ධෙ ඉවර වුනාට සතුටුයි හැබැයි.." බර වු හිසින් සිටි මම හිස ඔසවා බැලුවෙමි.." ඔව්, දැන් මිනිස්සු මැරෙන්නෙ නැති එක ගැන සතුටුයි..
නමුත් විශේෂයෙන්ම සමාජ ජාලා හරහා ඔය ගැන කතා කරද්දි කතිකාවක් අපේ ඔලුවට බස්සලා තියෙනවා මේ සැමරුම හරහා යුද්ධය උත්කෘශ්ට වෙනවා කියලා.. කැබිතිගොල්ලෑවෙ මැරුනු පොඩි එකා ගැන කතා කරනවට වඩා මට සිවිල් එකක් හම්බ වෙනවා කිලිනොච්චියෙ මැරෙන දරුවෙක් ගැන කතා කරාම..
කවි නිසදැස් වුනත් හිට් වෙන්නෙ 'උඹට මානපු දුම් බටෙන් මල් පිපියන් කැරලිකාර සොයුරනේ, තල් රුප්පාවට උඹේ කඳුළු මුසු වෙලා, ඒත් විමුක්තිය උඹට දුර නෑ මයි දෙයියො' වගේ දෙයක් දැම්මොත් මිසක් ' සෙබළ සොයුරනේ, අපි වෙනුවෙන් දියකරන උඹෙ හිරිමල් යෞවනේ ' වගේ දැම්මොත් පට්ට ගොන් වෙනවා..
සම්මතේ එක්ක ගේම ඉල්ලන, රැඩිකල් විදියට ලියන අයත් එක්ක හරි හරියට සෙට් වෙලා.. ඒ ස්ටේටස් එක අමාරුවෙන් හරි මේන්ටේන් කරන්න එපාය අපිත්"
"සිවිල් එක නෙවෙයි යෝධයො, ඔයා ඇතුලෙ ඉන්න ඇත්ත මනුස්සයා හිතන්නෙ මොකක්ද?"
"මම හිතන්නෙද?" බොහොම සැහැල්ලුවෙන් මද සිනාවක් පෑවෙමි " ජාති, ආගම් බේදයකින් තොරව මේ මැරුන හැම මනුස්සයටම, තුවාල වුන හැම මනුස්සයටම අපි ආදරය කරන්න ඕනෙ. යුද්ධෙන් බැට කාපු උතුරෙ දකුණෙ හැම මනුස්සයටම අපේ අනුකම්පාව හිමි වෙන්න ඕනෙ.. ඒ මැරුනු දරුවෙක් දකිද්දි එයා සිංහල ද, දෙමළද කියලා මට අදාළ නෑ. සිංහල නොවෙන නිසා උන් වින්ද දුක ගැන ජාතිවාදි කෙනෙකුට මෙලෝ ගානක් නෑ වගේම, සිංහල මිනිස්සුන්ගෙ ආත්මාභිමානය, ඒ මිනිස්සුන්ට වුන පීඩා බලෙන් අමතක කිරීමත් එක වගේ හානිකරයි."
"මරා ගන්නෙ නැතිව මේක ඉවර කර ගන්න තිබ්බ නම් නේද හොඳම?"
"පැහැදිලිවම. කඩදාසි උඩ තියෙන තියරි, මහ පොලොවට ගෙනෙද්දි මහා පොලොවේ යතාර්තය එක්ක හැප්පෙන්න වෙනවා. අපි කරන්න ආස දේත්, වඩා හොඳ වෙනුවෙන් කරන්න වෙන දේත් අතර වෙනස ඒකයි භාරතී.
රට ඇතුළෙ කැරැල්ලක්, ලොව බිහිසුනුම ත්‍රස්තවාදයක් වෙලා පාලනයකින් තොරව මිනිස් ජීවිත විනාස කරද්දි, තමන්ගෙ පැවැත්ම වෙනුවෙන් තමන් විමුක්තිකාමීන් කියලා හිතන අහිංසක මිනිස්සුම මානුශික පළිහක් කර ගද්දි, ඔවුන් තමන්ගෙන් පළා යද්දි වෙඩි තබා මරන, ගුවනින්, බිමින් සහ මුහුදෙන් යුද්ධයට සම්බන්ධ නැති අහිංසකයන් භීශණයට ගොදුරු කරපු අතිශය විනාශකාරී ඝාතක කන්ඩායමක ග්‍රහණයෙන් රට බේරා ගන්න යුධමය මැදිහත්වීමක් අවශ්‍ය වුන මහ පොළොවේ යතාර්ථයක් එදා තිබුනා.
අන්න ඒ වෙනුවෙන් අති දැවැන්ත කැපවීමක් සෙබලුන් සිදු කරා. ඔවුන් ඒ අවි ගත් යාන්ත්‍රණය නැවැත්වුවා.
ඒ සමරන්නෙ ඔවුන්ගෙ කැපවීම. ඒ සමරන්නෙ ඒ ලේ වැගිරීමේ අවසානය.. අපි මතක් කර ගත යුත්තේ නැවතත් එතැනට නොයාමේ වටිනකම. එහෙම නැතිව එක වර්ගයක් කොන් කරලා ජය පැන් බීමක් නොවේ. එය සාමය කැමති කාගෙත් සැමරුමක් වෙන්න ඕනෙ"
"ඒ වුනාට ඒ යුද්ධෙ සිදු වුනා කියන අපරාධ ගැන මොකද ඔයා කියන්නෙ"
"අපි අපේ කතාවෙ මුලට ආවා භාරතී. අපේ රටේ යුද්ධෙ ගැන, කොලඹ සුලු ජාතීන්ට සලකන හැටි ගැන මෙහේ mainstream media වල යන දේවල් අපි දකිනවා නෙ. Human rights කියන එක Geo-political උවම්නාකම් වලට බලවත් රටවල් පාවිච්චි කරන හැටි පේනවනෙ..
ඉතින් අපි අර මුලින්ම කිව්ව වගේ, තව දුරටත් ඉතිහාසෙ ලියන්නෙ දිනපු හෝ පැරදුන කෙනාද කියලා තීරණය කරන්නෙ ලෝක දේශපාලන දාං බෝඩ් එකේ වැඩකරන බල අවකාශෙ ඇතුලෙ..
ඉතින් ඒක ඇතුලෙ අපිට පේනවා ලස්සනට කට්ටිය අපේ ඉතිහාසෙ ලියනවා ලොකු හස්තවල ආශිර්වාදෙ මැද්දෙ.."
"අනේ නිකන් ඉන්න මෙයා, එයාලා ලියල ඉවර වෙන් කන් ඔයාලාගෙ කට්ටිය බලන් ඉඳියි මේන් කියලා, එතකොට ඔයාලා සියඹලා ගෙනෙල්ලම නැද්ද?"
"නෑ අපේ කට්ටියත් බලාගෙන ඉන්නෙ ලියලා ඉවර වෙනකන්.."
"ආ මම කිව්වෙ, එයාලත් ඒක උඩ ලියාවි අරයලා නොලිව්ව ටික ..?"
"අපෝ නෑ, අපේ අය බලන් ඉන්නෙ කොතනද අත්සන ගහන්න ඕනෙ කියලා"
"මොකක්? ඔයාලා හරි ම පුදුම ජාතියක්නෙ?"
"ඔව් අපි හරි වෙනස් ජාතියක්"
"ඔය කිව්වට ටිකක් හරි හිතන්න පුලුවන් මිනිස්සු ඔය ගැන බුද්ධිමත් සංවාදයක් පටන් ගනී"
"ඔව්, ෆේස්බුක් එකේ එහෙම බර සාරෙට ඔය ගැන කතා වෙයි.. "
"ඒකනෙ. පුරවැසි බලය මිනිස් ඉතිහාසෙ පුරාවට වහල් නොවුන චින්තන ප්‍රවාහයක්"
"භාරතී දන්නවද එයාල මොකක් ගැනද කතා වෙන්නෙ කියලා,
' බලන්නකෝ කොච්චර චාම්ද මෙයා, අර අත්සනත් ගහලා තියෙන්නෙ ඇට්ලස් චූටි බෝල් පොයින්ට් පෑනකින්නෙ මෙයා' කියලා"

Comments

Popular posts from this blog

A miracle, they say!

හිනාවෙයන් කලු හිනා වෙයන්!

සත්තයි නුඹ ඇවිදින්...