කොලරා නහී බාබා...චොලරා..චොලරා!

දැන් අපේ නම්වලට පිට රටකදී, ඒ නුහුරුව සහ එහි දිග වැඩිකමත් එක්ක වෙන සංතෑසිය අපි කලින් කතා කරලා තියෙනවනෙ ඕන තරම්. අද මම කතා කරන්නෙ ඒකෙ අනික් පැත්ත..

ඒ තමයි ඒ නම තියෙන වෙන වචනයක් එක්ක සමපාත වුනාම වෙන අකරතැබ්බේ..

මගේ ඉන්දියන් යාලුවෙක්ගෙ වාසගම චොලරා හැබැයි ඒක ලියද්දි කොලරා (cholera) කියන ඉංග්රීසි වචනෙම තමය ලියවෙන්නෙ. මිනිහා ඒ හින්දා විඳින දුක කියන්න වචන නෑලු.

තව මනුස්සයෙක් හිටියා කලින් කාර්යාලයේ, එයාගෙ නම නීල් ඩීත්, වාසගම ලියන්නෙ Death කියලා.. මළාම තමයි. මිස්ටර් ඩෙත් කියලා මිනිහට කතා කරනවා මගේ කනටම ඇහිලා තියෙනවා.

ඔය ඔෆීස් එකේම හිටියා ගෑනු මනුස්සයෙක්.. එයාගෙ වාසගම ඩික්. ඔබ දන්නවා, ඒ වචනෙ ඉංග්රීසි කතා කරන භාශාව තුල එච්චර හොඳ එකක් නෙවෙයි.. එය පිරිමි ලිංගේන්ද්රිය කියන අරුත දෙන නිසා.. ( ලංකාවෙ ඉඳලා අලුත ආපු අයට මෙහේ කාලයක් හිටපු අය දෙන උපදෙසක් තමා 'වාහනේ ඩිකිය කියලා කියන්නෙ නෑ හොඳේ, ඒක කැත වචනයක්. ඒකට කියන්නෙ බූට් කියලා හරිද?')

මේ කාන්තාව තමන්ගෙ නම හින්දා වෙච්ච දේවල් අපිට කියනවා ඉස්සර... ඉන් හොඳම එක නම් මෙතන ලියන්න බෑ.. යාන්තමට වගේ කියන්නම්...
දවසක් ඇයට කෝල් එකක් ඇවිල්ලා, එයාගෙ වාසගම වෙනුවට කියලා තියෙන්නෙ c අකුරෙන් පටන් ගන්න, ඒ තේරුම ම තියෙන, ඊට වඩා අතිශය අසභ්ය අකුරු හතරෙ වචනයක් .. කතා කරද්දි තේරුනාලු ඒ මිනිහා ඒ නම ඇත්තටම භාවිතා කරන්නෙ කියලා..
එතනින් අපේ කතා නායිකාව දැන ගෙන තියෙනවා, ඒ මිනිහා ඇයගේ නම මතක තියා ගන්න හිතා ගත්තු සමාන වචනෙ ඇත්තටම නම කියලා එයාගේ මතකයේ රෙජිස්ටර් වෙලා කියලා..

තව ඉන්දියන් යාලුවෙක් හිටියා, එයාගෙ මුල් නම හාඩික්.. ඒ නම මුලින්ම අහද්දි ගොඩාක් අය කට කොනින් හිනා වුනේ මොකද කියලා තේරුම් ගන්න මට ටික දවසක් ගියා..

මානගේ ලා ලංකාවෙන් පිට 'මැනේජ්'ලා වෙන්නෙත් මේ විදියටම තමා..

මේ පිටිපස්සෙ තියෙන්නෙ discrimination වගේ දෙයක් කියන්න ඉක්මන් වෙන්න නරකයි ..හුරු නැති නොදන්න සංස්කෘතිවල වචන, දන්න වචන එක්ක සමපාත වෙද්දි වෙන නොවැලැක්විය හැකි හානි (colateral damage) ගොන්නට වැටෙනවා කියලා තමා හිතන්න වෙන්නෙ.

හැබැයි, නොදැන වගේ මේ අය නම්වලට ඇරලාම දාන වෙලාවල් නැතිවම නොවේ.. අවුරුදු ගානකට කලින් ඉන්දියාවෙ තිබ්බ පොදු රාජ්ය මන්ඩල ක්රීඩා උළෙලක ඔස්ට්රේලියානු කන්ඩායමට මොකක් හරි ප්රශ්නයක් වුනා, අදාල ප්රාන්ත රජයේ මහ ඇමතිනිය නිසා (සිද්දීය නම් මතක නෑ හරියටම)..

ඇයගේ වාසගම ඩික්ශිත් (Dikshit). නමුත් මෙහේ මාධ්ය ඒ නම ටිකක් වැඩි වැඩියෙන් ලියන්න ගත්තා ඒ කාලේ ඇයට විරෝධයට වගේ..

ඒ නම ඔවුන් විහිලුවට ගත්තෙ dick shit කියලා..

#කෝච්චියෙ_පාලුවට_ලියන_හෑලි

Comments

Popular posts from this blog

A miracle, they say!

හිනාවෙයන් කලු හිනා වෙයන්!

සත්තයි නුඹ ඇවිදින්...