උණුසුම් දේශපාලනේ .. Polfie and Relfie

Polfie කියලා රැල්ලක් ආවා කාලයක්, පොලීසියෙන් දඩ ලියද්දි ඒකෙ සෙල්ෆියක් ගහලා දාන එකක්.. මම කියන්නෙ ඒ පොල්ෆි නෙවෙයි - Political Selfie!!

 දැන් මට පුලුවන් ටජ් මහල ගාවට ගිහින් ඒකෙ ෆොටෝ එකක් ගන්න.. . මට 'පේන විදියට' ගත්තට ඒක ඇතුලෙ මම ඉන්නවද, නෑ!! , ඒ නිසා මම ගහනවා සෙල්ෆියක් ටජ් මහල පැත්තෙන් පේන්න.. දැන් මම ලොකුවට පේනවා, ටජ් මහල පොඩියට පේනවා.. ටජ් මහල පොඩි වුනාට මට ඕනෙ මේ වගේ හැඟවුම්කාරක ඔක්කොම ඕක අස්සෙ තියෙනවා,
 " මෙන්න හැමෝම බලා ගන්න මේ ඉන්නෙ මම, බලන්න මට හරි happy, දැක්කද අර ටජ් මහල පොඩියට පෙනුනට.  ඒත් මම ඔයාලට පෙන්නන්න හදන්නෙ ටජ් මහල විතරක් නෙවෙයි.. මාත් එතන ඉන්නවා කියන එක සහ මං දිහා බලන්න කියන එක"

 අවංකවම කියන්න - අපි සෙල්ෆියක් අරන් දාන්නෙ ඒකට නෙවෙයිද? මේක වරදක් නෙවෙයි.. සාමාන්‍ය සමාජශීලි මිනිස්සු විදියට, සමාජ ජාලා හරහා මේ වැඩේ අතිශය ජනප්‍රියයි.. Selfie වලට හොඳ phone වලට, මූන air brush කරලා කිරි ටොයි  වගේ කරන  ෆිල්ටර් වලට අතිශය ඉල්ලුමක් තිබීම අහම්බයක් නෙවෙයි.. Like  කරන කෙනා, Love Heart දාන කෙනා ඒක දාන්නෙ ටජ් මහලට නෙවෙයි, අර ෆිල්ටර් දාලා ලස්සන කරපු මුනට කියන එක සෙල්ෆිය දාන කෙනාත්, ප්‍රතිචාර දාන කෙනාත් කියන දෙන්නම දන්නවා.. ඕකෙ මැජික් එකක් නෑ..

 හැබැයි මේ දේශපාලන උනුසුම අස්සෙ, Political Selfie  ගහන සෙට් එකක් ඉන්නවා, අන්න ඒකෙ  නම් හීනියට මැජික් එකක් යනවා.. ඒ මෙහෙමයි!

 ඒ අය කරන්නෙත් දේශපාලනය සම්බන්ධ අදහස් වමාරන එක තමයි.. නමුත් ඒක අස්සෙ යන්නෙ පුද්ගලික වැඩක්.. ඒ කියන්නෙ එයාට ඕනෙ දේශපාලන පසුබිම දාලා තමන්ගෙ 'ලොකු ලයින්' එකේ සෙල්ෆියක් ගහන එක..

 එතනදි මුලු මහත් සමාජෙ අති බහුතරයම හෙන අවුල් යැයි කීම, වහලුන් ලෙසින් ගැනීම, බහුතරයට අහු වෙන්නෙ නැති යමක් තමන්ට තේරෙන බව පෙන්වීමට මේ අය අතිශය වෙහෙසක් ගන්නවා. මින් අති බහුතරය ඉන්නෙ විකල්ප/පොදු විකල්ප අපේක්ශක පැත්තෙ මොකද මේ ලොකු ලයින් එක වගා කිරීමට අවශ්‍ය සියලුම සරු පස තියෙන්නෙ එතැන. මෙතැන තමන් වහල් නැති බව පුන පුනා කීම විශේෂයි.. දේශපාලනික වාදවල  වැඩිපුරම අකුරු කරන්නෙ  තමන්ගෙ වරුණෙ .. 
 දේශපාලනය පොඩි වෙලා, තමන්ගේ මතවල තියෙන උත්තරීතර වග, මම මෙහෙමයි, හැබැයි  ඔහෙලා ගොන් කියමින්, තමන්ගේ ඊනියා නිවහල් බව, මධ්‍යස්ත බව ඉතා zoom  කරමින් මේ පොල්ෆිය ගසනු ලබනවා.. 

බටහිර රටක ජීවත් වෙනවා නම් මේ උණ ටිකක් විතර සන්නිපාත තත්වෙකට යනවා.  ඒ රටේ නිදහස, මිනිසුන්ගේ දියුනුව සහ තමන් විඳින සැප අභිරමණය කරමින්, තමන්ට එතනට එන්න දුක් විඳමින් උදව් කරපු දුප්පත් රටේ අති බහුතරයක් මිනිසුන්, දූශිත දේශපාලකයන්ට කඩේ යන, උන්ගේ හොරකම්, මැරකම් අනුමත කරන වහලුන් ලෙස ලේබල් කර ගර්හාවට ලක් කරනවා.

 මෙහි, හොඳම සෙට් එක, තමන්ගේ හෙන ලිබරල්, පට්ට නිවහල් අයිඩෙන්ටිටි එක වෙනුවෙන් කිසිම පැත්තක් ගැනීම ප්‍රතික්ශේප කරනවා (හිතේ බයස් එකක් තිබ්බත්).. ඒ අය කරන්නේ තමන් මඩෙන් උඩට මතු වූ නෙලුමක් මෙන් නිසා හරියට  බැණුම් අහනවාය, නමුත් තමන්ගේ නිවහල් බව මෙන්න මේ තරම් ශේෂ්ටය ලෙසින් " මං මාරයි බොල" ෆිල්ටරය සමඟින් තව තවත් සෙල්ෆි ගසා ගනිමින් ස්වයං -සන්තර්පනයක යෙදීමය.
මේ අයට සිවිල් එක හෙන වැදගත් ය. විරෝධකල්ප සහ රැඩිකල් මතවල ඉන්න කන්ඩායම් අතර තමන්ගේ සිවිල් එක පවත්වාගැනීම වෙනුවෙන්, විශේෂයෙන්ම බයි හෝ ටොයි දෙකින්ම ඈත් බව පෙන්වීමට අමතර වෙහෙසක් ගැනීම දැක ගත හැකිය.

 දැන් දේශපාලනය කතා කරන, විශේෂයෙන්ම විකල්ප දේශපාලනය ගැන ලියන හැමෝම මෙහෙමද?
හපොයි නෑ! ටජ් මහල අපිට 'පේන හැටි' පෙන්නමින් ටජ් මහලෙ විතරක් ගහන ෆොටෝ එකයි, ටජ් මහල චූටියට පසුබිමට දාල මූනත් තහඩුව හෙන පදාසයක අලවපු සෙල්ෆි ෆොටෝ එකෙයි වෙනස අපි දන්නෙ නැද්ද? (මම ආයි කියනවා, සෙල්ෆියෙ අවුලක් නෙවෙයි මේ කියන්නෙ)
මේකත් ඒ වගේ. අනික මම පුද්ගලිකව  වත්මන් විකල්ප දේශපාලන කතිකාව විවේචන සහිතව වුනත්, සාධනීය නැඹුරුවක් ලෙස  දකිනවා.  මේ කතා කරන්නෙ පොල්ෆියේ පොලිටික්ස් ගැන පමණි..

 තම ගරු කරන මත වාදෙ වෙනුවෙන් පෙනී සිටිමින්, අනික් පැත්තට මඩ ගසමින් හෝ නොගසමින්, පච අලවමින් හෝ නැතිව, නමුත් පොල්ෆි නොගහා දේශපාලනේ කතා කරන අය සිටිනවා පැහැදිලිවම.. (නිර්මාල් දේවසිරි එවැන්නෙක්.. ඔහුගේ අදහස් සන්නසගලගේ අදහස් සමඟ සාපේක්ශව සමපාත වුවත්, ඊගෝ ගැන කතා කරද්දී දෙන්නා අහසට, පොලොව වගේ නැද්ද?)

මේ පොල්ෆි ප්‍රජාව අඳුර ගන්න එක අපේ සෞඛ්‍යයට හොඳයි, මොකද කවදාවත් ඔවුන් එක්ක පැටලෙන්න යන්නෙ නැතිව, පරෙස්සමෙන්  අයින් වෙලා යන්න පුලුවන් එතකොට.
 කලින් කිව්වා වගේ දේශපාලනය කතා කරනවා වගෙ  පෙනුනට, එතැන යන්නෙ හෙන අනන්‍යතා පවත්වා ගැනීමේ වැඩක් නිසා ඔවුන්ව විවේචනය වුනු සැනින් ඒක හෙන පර්සනල් ගන්නවා.. දන්ඩෙන් රිදුම් ලද සර්පයන් සේ  පැන පැන පහර දෙනවා. ඇරියස් කවර් කරන්නෙ තමන්ට රිදවපු එවුන්ට වැදෙන ලෙසින්, වටෙන් ගොඩෙන්, නමුත් ඉලක්කගත පෝස්ට් තමන්ගෙ වෝල් එකේ අලවමින්.. එහිදී පොල්ෆියට රොඳ බඳින රසික කැල, "අයියා මාරයි", "ලෙසටම කියලා තියෙනවා" ආදියෙන් හාදු වැස්සෙන් ඔවුන්   සනසවන අයුරුත්, අයියලා ඒවයින් සැනසෙන අයුරුත් බොහෝ  විට දකින්න ලැබෙනවා.

Relfie
මේකෙම අනික් සත්ත්ව විශේෂය තමයි රෙල්ෆි - ඒ කියන්නෙ Religious Selfie ගහන අය. ඒකෙ නම් දෙපැත්තම ඉන්නවා. එක සැට් එකක් තමන් හෙන ආගමික බව පෙන්නන්න කරන හැම  පිරිතම, බණම, දානෙම, මඟුලම ශෙයා කරමින්, දුප්පත් මනුස්සයෙකුට පොඩි උදව්වක් කරත් ඒ ගැන ඕනවටත් වඩා  විස්තර පෙන්වමින් මනුස්සකමේ, ඇදහීමේ සෙල්ෆි ගැසීම. 
ඒ සමඟම එලෙසින් ආගමික නැති අයට, නිතර බලෙන් බණ කියමින්, තමන් මෙන් හික්මෙන ලෙසින් තග දැමීම ආදිය දකින්න පුලුවන්..

 ඒකෙ අනික් පැත්ත රොම්බ රැඩිකල්, පට්ට ලිබරල්, නිරාගමික සැට් එක වේ. ඔවුන් ආගම අදහන එවුන් දෙකේ කොලයට දමමින්, ෆැශන් එකට සංස්කෘතියට, අපගේ හර පද්ධතියට කින්ඩි දමමින්, තමන් එලෙසින් සාම්ප්‍රදායික නැතය, ආගම අදහන් එවුන්ට වඩා (ගූගල් දෙවියන් අනුහසින්) ධර්ම කරුනු දන්නේ යැයි වහසි බස දොඩයි.. ආගමක්, ලබ්ධියක් අදහන අයට කින්ඩි දැමීම, තමන් ආගම නොඅදහන එක ගැන උත්ප්‍රාසයෙන් කතා කිරීම සහ තමන් වඩා මානවවාදී බව පුන පුනා ඒත්තු ගැන්වීමට යාම මේ  සත්ත්වයන්ගේ මූලික ලක්ශණයකි..

 මේ ටික ලියද්දී, මේ ලිපිකරුත් දාන්නේ  හෙන ලොකු ලයින් නොවේදැයි ප්‍රශ්නයක් සමහර විට එනු ඇත.
 අහෝ නැත. ලිපිකරු කිසිම දේශපාලනික පරිචයක් නැති, එවැනි විදග්ද සංවාදවල නිරත වෙන්න අවශ්‍ය කරුනුමය දැණුම පවා නැති අයෙකි. කිසිම ලෙසකින් පොරක් නොවේ.. 

මගේ සීමිත දේශපාලන කියවීම තුල මා සිතන්නේ දේශපාලනය යනු පෙනෙන සිද්ධි වෙන වෙනම ගැනීම නොව, විවිධ බල ධුරාවලි ක්‍රියා කරන ආකාරය තුල, පරමාදර්ශි නොවන  සංරචකයන් සමතුලිත කිරීම හරහා සාපේක්ශ හොඳක් වෙනුවෙන් කරන වඩා අඩු අවදානම් තෝරා ගැනීම් ක්‍රියාවලියකි. (දවසින් පහල වෙන කේතුමතී පවතින්නේ හීන දකින අයගේ බුකියේ පෝස්ට් වල පමනි)

එනිසා යම් වෘත්තීයක ලොකු සිවිල් එකක් තිබූ පලියට, තමන් දරන මතය හෙන දේශපාලනික වෙනවා කියා එකකුත් නැතිය.  ඒ නිසා මම දරන දේශපාලනික මතය මට හෙන සිරා වුනාට, දේශපාලනික චෙස් බෝඩ් එක ඇතුලෙ වෙන, ඉත්තො චලිතයේ   නොදන්නාකම තුල මගේ දේශපාලනික ආස්ථානය සමහරවිට හෙන ගොන් විය හැකි බව මම තේරුම් ගත යුතුය. වෘත්තියෙන් ලොකු පොරක් වුන පලියට, දේශපාලන ලෝකයේ ප්‍රශ්නවලට අපි දකින සරල විසඳුම් ප්‍රායෝගික දේශපාලනයේදී පට්ට අතාර්කික විය හැකිය.  එනිසා පොර මානසිකත්වය හොඳ පොල්ෆියටම පමණි. 

දේශපාලනය තුල, පක්ශ පාට මතට සියල්ල ලඝු නොවන, සැම විටම ප්‍රශ්නය දිනවන්නේ කව්ද තරමට සරල නොවන, පරාද කල යුතු බලවේග තේරුම් ගැනීම හරහා මිනිසුන් දේශපාලනයේ තමන්ගේ පුද්ගලික දේශපාලනය තෝරා ගන්නවා.  ඒ හැම තෝරාගැනීමක්ම කැපුවත් කොල, කැපුවත් නිල් වහලුන් ලෙස ලේබල් කිරීම සාධාරණ නොවන බව පමණක් සටහන් කිරීම මෙහිදී ප්‍රමාණවත් වෙනු ඇත. 

එනිසා ලිපිකරු නිර්පාක්ශික වුවත් (බදා ගත් පක්ශයක් නැත යන අර්ථෙන්) ඊනියා මද්‍යස්ථ මතධාරියෙක් නොවේ. (ව්‍යාජ මධ්‍යස්ත එකත් එක්ක එන බොරු සිවිල් එකට වඩා, හදවතට දැනෙන තෝරා ගැනීම් එක්ක එන, සාධාරණ නොවන ලේබල් වැදීම පවා ඉවසිය හැකි නිසාවෙන්) 

 ඇත්තම කිව්වොත් මෙය ලිවීම ලොකු ලයින් එකක් නොවේ.. ඉල්ලන් කන ලයින් එකකි.. මොකද මින් රිදෙන්නේ පොල්ෆි ඇත්තටම ගහන එවුන්ටය.. උන්ගෙ ඊගෝ එක හෙන ලොකු නිසාවෙන්, මෙයට කෙලින් ප්‍රතිචාර දුන්නත්, නැතත්, රිටර්න් එක දෙන්නේ මතක තියා ගෙනය. මානවවාදෙ බලා ගන්න පුලුවන් ඊගෝ එකට පොඩ්ඩක් වැදුනු ගමන්..

සම්බුව කොහොම ලැබුනත් කමක් නැතිය, යකඩ ටිකට ගුල්ලො ගහලා තියෙද්දි, මේ හාල් ගෝනි ටික විතරක් ඉතිරි වෙලා නැති බව මතක් කල යුතුම නිසාවෙනි. 

 "හඳ පෙන්නුවාම, හඳ දිහා බලපන් අත බලන්නෙ නැතිව" 
කෙනෙකුට මෙහෙම හිතෙනවා නම් එයත් සාදාරණයි.. නමුත් එයට නම් කියන්නෙ තියෙන්න මෙච්චරයි .
හඳ පෙන්නනවා  කියා හඳේ සෙල්ෆි ගැහුව උන්දැලා, මූනෙ ආවාට ගැන කිව්වහම අමුතුවෙන් උයියා වෙන්න  එන්න එපා  කියාය...

Comments

Post a Comment

Popular posts from this blog

A miracle, they say!

හිනාවෙයන් කලු හිනා වෙයන්!

සත්තයි නුඹ ඇවිදින්...