බුදු තාත්තේ... අපේ ගෙදර!!

 දවසේම කුඹුර සමඟ ඔට්ටු වූ සියාතු යාන්තමින් ඉසිඹුවක් ලන්නට ලන්ද මත වාඩි වුනා පමණි..

කැළේ කඩා ගෙන කුඹුර පැත්තට දුවගෙන එන්නේ තමන්ගේ ලොකු කොලුවා බව තේරුම් ගන්නට ඔහුට ආපහසුවක් වුනේ නැත.

" බුදු තාත්තේ... අපේ ගෙදර!!"  තරුණයා එසේ කියා තමන්ගේ දෙපා පාමුල වැටුනේද, වැටෙද්දී එසේ කියවුනාදැයි සියාතුට නිනව්වක් නැහැ..  මේ අසන්නට යන්නෙ ලොකු වින්නැහියක් බව ඔහුට ඉවෙන් මෙන් වැටහුනු නිසාවෙනි..

"තාත්තෙ, අපේ ගෙදර ගිනි ගත්තා." 

 සියාතුට ඇස් නිලංකාර විය. එහෙත් උඩ ඉන්දවුනු දැසින් ඔහු තම පුතා දෙස බලා සිටියේ ඒ අසුබ ආරංචිය තුල යම් මාත්‍රයක හෝ ඉතිරි වූ බලාපොරොත්තුවක් ගැන හෝඩුවාවක් පතමිනි. පුතාට ඒ බලාපොරොත්තුවත් සුන් කරන්නට ගියේ නිමේශයකි.

"මොකුත් ඉතිරි නෑ තාත්තේ.. වටේ කොල්ලො ටිකත් එක්ක එකතු වෙලා ගින්න එක්ක ඔට්ටු වුනාට මොනවත් බේර ගන්න බැරි වුනා.. එහෙම් පිටින්ම අලු ගොඩක් දැන් එතන" 

සියාතු නිහඬය.වටිනා කියන කිසිම දෙයක් ඒ ගෙදර තිබුනේ නැත. නමුත් ඒ සියාතුගේ ගෙදරය.  තමන්ගේ දෑතින්ම හැදු ඒ ගෙදර ඔහු ලොකු පුතාට පැවරුවේ ගිය සතියේය. ඒ තමන්ගේ අවසන් හුස්ම ඒ නිවසේම හෙලන්නට පියාණන්ට අවස්ථාව දෙන වගට පොරොන්දු කරවා ගෙනය.
තම සිරුර අඩපණ ව යනවග හැගුනෙන් සියාතු, අසිහියෙන් මෙන් ගලා යන දොල පාරෙන් මුහුන තෙමා ගත්තේය..

පුතා තම පියාට නැවත සමීප විය.
"තාත්තෙ, මේක කිව්වට තාත්තාට යකා වැහෙනවා එහෙම නෙවෙයි. මම තාත්තට කියන්න හිටපු දෙයක් මට කියා ගන්න බැරි ව හිටියෙ.. දැන් ඉතින් කියන්නම වෙනවා"
තම එකම සන්තයකය වෙන ගෙදර ගිනි ගත්තාට පසුව ඔහුව පෙලන්නට හෝ සනසවන්නට කිසිවක් ඉතිරි වී නැති වග දැණුනු පරිද්දෙන් සියාතු තම පුතා දෙස ඔහේ බලා සිටියා පමණි.

"මම ඊයේ ගේ වික්කා තාත්තේ"

සියාතු සිට ගත්තා නොව, අසුරු සැනින් ඉන්දවින. "ගේ වික්කා?" නව පණක් ලද්දෙකු මෙන් ඔහු පුතා දෙසට හැරිනි.
පියාගේ මුහුණ කෙලින්ම නොබලන්නේ, ඔහු චකිතයෙන් කතාවේ ඉතිරි ටික වමාරන්නට විය. 

"හන්දියේ කඩේ, අර පැත්තෙ ලෑල්ල විකුනන්න දාලා තිබ්බා.. අද දවසෙ ගත්තොත් මට හින්දා අහවල් ගානට දෙන්න මුදලාලි පොරොන්දු වුනා. ඒ නිසා තාත්තට හොරා මම ඊයෙ ගේ වික්කා. ගනුදෙනුව කෙරුනොත් හෙට ඉදලා අපි දෙන්නට කඩ කාමරේ ඉන්න මුදලාලි කැමැත්ත දුන්නා"

පුතා විස්තරේ කියාගෙන ගියත්, ගේ වික්කා යන්න තහවුරු වූ පසු ඉතිරි කතා සියාතුට ඇසුනේ නැත. තම සන්තකයේ තිබූ පරම වස්තුව අලු වූ බව සැල වී  පපුවේ ඇවිලී බුර බුරා නැගුනු ගින්න එසැනින් නිවූ මහා ජල කඳ වූයේ 'ගේ වික්කා' යන වචන දෙකයි.
මුහුනේ තිබූ වේදනාව වසා ගෙන දැන් මතු ව ඇත්තේ වියරු අඩ සිනාවකි. එහෙත් මොකක්දෝ ව්‍යාජ වේදනාවක් වත තවරා ගත් ඔහු, බොහෝ සැහැල්ලුවෙන් පැවසූයේ "මට දුක කවුරු වුනත් ගේ ගත්ත එවුන්  ගැන. අම්මපා මට උන්ගෙ වේදනාව තේරෙනවා"
ගිනිගෙන දැවුනු ගේ බලන්න ආසාවක් තබා, ඒ දෙසට යන්නවත් දැන් සියාතුට උනන්දුවක් නැති ගානය. මේ ගැලවුනේ මොන මරාලයකින්දැයි සිතමින්, ඔහුගේ සිත දැන් සැලසුම් හදන්නේ කුඹුරේ සිට උජාරුවෙන් තම නව නිවහන වෙන හන්දියෙ කඩ කාමරේ වෙත යන ගමන ගැනය.

මොහොතකට කලින් ළය පැලෙන තරම් වේදනාවක් දුන් ඒ දුක දැන් ඔහුට බලෙන්වත් ගන්නට නොහැක. ඒ ගිනිගත් ගෙය 'මගේ' සිට 'උන්ගේ' බවට නාමකරනය වූ මොහොතේම ඔහුගේ දුක, හිරු දුටු තුශර බිඳු මෙන් එසැණින් වාශ්ප විය.

නමුත් සියාතු කතාවේ වැදගත්ම කොටස තවම අසා තිබුනේ නැත. 
ගැහෙන් හදින් යුතුව, පියා බදා ගනිමින් පුතා හඬන්නට විය.

"බුදු තාත්තේ, උන් ඒ ගෙදරට සල්ලි දෙන්න හිටියෙ අද!"

සියාතු මෙවර ඇත්තටම සිහිසුන් විය.

#අහපු_කතාවක්_තාරබර_මගෙන්  


Comments

Popular posts from this blog

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සහ Sri Lanka Decides 2024

A miracle, they say!

සත්තයි නුඹ ඇවිදින්...