2020 ට කඩිප්පුලි කතා කියන්නට පෙර... මේක කියවන්න!

 


2020ට කඩිප්පුලි කතා කියන එක වහාම නවත්තන්න..

දැන් ඔය 2021 ලොකුවට උඩ දැම්මට අපි 2020ට උම්මා දීලා බාර ගත්තු හැටි මතකනේ..

සමහර වෙලාවට සමහර බෙහෙත් තිත්තයි, සැරයි..නමුත් ඒක ඒ වෙලාවට ඕනෙම බෙහෙත ලෙඩා බේර ගන්න..
සමහර ගුරුවරු සැරයි, වසයි, නමුත් ආපහු හැරිලා බලද්දි ජීවිතේ වෙනස් කරේ ඒ වගේ ගුරුවරු..
2020ත් ඒ වගේ... පාඩම් උගන්නපු වසරක්.. නිකන් නෙවේ ටොකු ඇන ඇන..

ඇත්ත, මිනිස්සු මැරුනෙ ලක්ස ගානින් නෙවෙයි,මිලියන ගානින්..
අපේ ජීවිතේ දැක්ක ලොකුම ඛේදවාචකයක් වුන වසර.. ලෝක මට්ටමේ වසංගතයක්.. ඒක වැඩ කරන්නෙ කැලෙන්ඩරේ බලලත් නෙවෙයි, වැඩ අහවර කරපු පාටකුත් නැහැ, ඒ නිසා 2020ට සාප කරලා තේරුමක් නැහැ..

ජීවිතයක අවිනිශ්චිත බව, කෙටි බව, පුංචි දේවල් වලින් මේ මොහොත විඳින්න ඕනෙ හැටි, සරල පොඩි දේ වලින් සතුටු වෙන්න ඕනෙ හැටි අපි 2020 ඉගෙන ගත්තෙ නැද්ද?

පොඩි දෙයක් වෙනස් වුනත් පරල වෙන්න පුරුදු වෙච්ච අපේ ඇස් ඉස්සරහ, මොහොතින් ඔලිම්පික් මට්ටමේ කාරනා අවලංගු වීම, කල් දැමීම් සාමාන්ය දෙයක් වුනේ නැද්ද?

හැල්මෙ දුවමින්, ලෝකෙම දේවල් බදාගෙන, දරුවන්ගෙ, ගෙදර අයගෙ මුහුන බලන්න වෙලාවක් තිබුනු නැති අයට, ගෙදර හිර වෙලා දරුවන් එක්ක චිත්ර අඳින එක, සැමියා බිරිඳ එක්ක තේ එකක් බොන එක, චිත්රපටියක් බලන එක දවසේ මහා සතුට ගෙන දෙන දෙයක් වුනේ නැද්ද? (ඒක නම් මටම කියා ගත්තද මන්දා 😉 )

කොටින්ම එලියේ මහා දේවල් සතුට කියලා හිතා හිටපු අපිට, ඒ සතුට තොපි ගාවම, සරල දේවල් වල තිබුනේ මෝඩ මිනිසුනේ කියලා 2020 තඩි පොල්ලකින් ඔලුවටම නෙලලා කියලා දුන්නෙ නැද්ද?

2011 ඇමරිකාවෙ ලෝක වෙලඳ මධ්යස්ථානයට ප්රහාරයක් එල්ල කරලා මිනිසුන් 2977 ක් මරා දැමීම ගැන කුපිත වුන ලෝක බලවතා ඒකට වග කිව යුත්තන් සොයමින් ඇෆ්ගනිස්තානෙ ගුහා, කඳු පුපුරවමින් තමන්ගෙ බල පුලුවන්කාරකම පෙන්නුවා.. අද ඒ ඇමරිකාවෙම දවසකට ඒ ප්රහාරයෙන් මැරුනට වඩා කොරෝනාවෙන් මැරෙන දවස් තියෙනවා. නැවත කියනවා ඒ දවසකට. ඒ ප්රහාරය එල්ල කරන වෛරසය ඇහැටවත් පේනවද? ඔය තියෙන න්යශ්ටික අවි, මිසයිල වලින් කොරෝනාව කුඩු වෙන්න ගහන්න පුලුවන් වුනාද?
අපි ආලෝක වර්ෂ බිලියන 13ට එහා තියෙන චක්රාවාට ගැන දන්නවා කියලා හිතා ඉද්දි, අපිව දණ ගැස්සුවෙ අපේ නාස් පුඩුව ඉස්සරහා තියෙන මයික්රෝ අනුවක් නොවේද?

අපි දන්නවා කියලා හිතන් හිටපු ගොඩක් දේවල්වල දන්න මගුලක් නැති බවත්, පුලුවන් කියලා හිතන් හිටපු දේවල් ගොඩාක් ස්වභාව ධර්මයා ඉදිරියේ අදාල නොවන වගත් අපිට තේරුම් යමින් තියෙනවා කියලා හිතෙන්නෙ නැද්ද?

වීරයන් කියා සම්මත බොල් පිලිම, සුපිරි තරු ගෙවල්වල හිර වෙද්දි, තමන්ගේ ජීවිතය ගැන නොතකා මිනිසුන් රැක බලා ගන්නා වෙද හෙද බලකායන්, සෞඛ්ය සේවයේ පර්යේශකයන් නියම විරුවන් ලෙස කරලියට ආවෙ නැද්ද?

ඔය අතරෙ කොරෝනා අපේ ආකල්ප කුඩු පට්ටම් කලා. නිවසේ සිට සේවය කිරීම ගැන කාර්යාල වාද විවාද වාශ්ප වී දවස 5 ම ගෙදර සිට වැඩ කිරීම් යථාර්ථයක් වෙද්දි, කිසි දිනක තාක්ශනික පැත්ත ඉගෙන ගන්න බැහැ කියා සිටි දෙමාපියන් ගුරුවරු හරි හරියට දුරස්ථ තාක්ශන හරහා ඉගෙන ගන්න, උගන්වන්න, රැස්වීම් තියන්න දවසින් දෙකින් ඉගෙන ගත්තා.
කඩ වලට ගිහින්, ගෙවල් වලට ගිහින් පැය ගනන් වල් පල් කතා කරපු මිනිසුන්, කරපු වැඩේ කරන් ඉක්මනට ගෙදර එන්න පුරුදු වුනා..
කොටින්ම ඉස්සර සුලුවට තකපු දේ, අපිට මාර සිරා දේවල් ලෙස දැනෙන්න ගත්තා..

බොරු ගමන් බිමන් අඩු වෙලා, පරිසර දූශනය, ශබ්ද දූශනය අඩු වෙලා අහස වැඩියෙන් නිල් පාට වෙද්දි, වන සතුන් මේ අසිරිය බලන්න මිනිසා බලෙන් අත් පත් කරගත් උන්ගේ බිම් කඩට නැවත එන හැටි අපි ඉන්ටර්නෙට් එකෙන් බලන්න ගත්තා.

අභියෝග ලොකු වෙන්න වෙන්න අපි වැඩියෙන් පාඩම් ඉගෙන ගන්නවා. අභියෝගෙ වසංගතයක් නම් පාඩම විශ්වකෝශයක්.

2020 අපිට හෙමින් යන්න උගන්නපු වසරක්. ඉවසන්න, පොඩි දේ අගයන්න, සතුට අපි තුලම වගා කර ගන්න,මිනිසුන් විදියට අනික් අයව බලා ගන්න, වෙනස්කම් මත්තෙ වාද කරමින් මරා ගන්න එක ඉක්මවා ගිය, වෙනස්කම් ඉවසන වඩාත් මානුශික ගුණාංග වලින් පිරුනු නිර්මාණාත්මක මිනිසුන් බිහි කරන්නට විභවයක් නිර්මාණය කරපු වසරක්.
අපි ඒ පාඩම් කොතරම් ඉගෙන ගත්තාදැයි 2021 සහ ඊට පස්සෙ අවුරුදු කියලා දේවි..
2020ට කඩිප්පුලි කතා කියන්න එපා කියලා මම මුලින්ම කිව්වෙ ඒකයි!

අවසාන වශයෙන් 2020ට කියමි, ආදරෙයි අහස තරම්!

ආ තව පොඩ්ඩෙන් අමතක වෙනවා කියන්න, ඔබ සැමට සුබ නව වසරක් වේවා! 🙏

#කෝච්ව්යේ_පාලුවට_ලියන_හෑලි

Comments

Popular posts from this blog

A miracle, they say!

හිනාවෙයන් කලු හිනා වෙයන්!

සත්තයි නුඹ ඇවිදින්...