Likes හිඟන page/channel පඩංගු

අද කාලේ සමාජ මාධ්ය වැඩ කරන හැටි ලස්සනට පෙන්නන්න පුලුවන් උදාහරනයක් මේ. මේ ගැන උනන්දු කෙනෙකුට බලා ගන්නත් එක්ක මම අදාල රූප ටිකක් side-by-side තියලම කතාව පටන් ගන්නං.



රූපය 1: දියණියකගේ දක්ශතාවයක් ගැන, ඒ පිටුවේ audience එක ගැන සබුද්ධිකව හදපු රූපයක්. අදාල තරඟ සංවිධායකයන් ගැන සඳහන් කරනවා. කාටවත් මඩක් නෑ. හොඳ නිර්මාණයක්. හදන්න පැයක් යන්නැති වැඩිම වුනොත්, දවස් හතයි - shares 1000 යි.

රූපය 2: උඩ රූපෙ ඩවුන්ලෝඩ් කර ගත්තා. ලයින් එකක් ලිව්වා. දැම්මා. කොහෙන්ද ගත්තෙ නෑ. අදාල සංවිධානය විස්තර මොකුත් නැහැ. හැබැයි සුක්රා දියණිය ගැන දැනට තියෙන උනන්දුවට ගහලා මේක හිට් කර ගත්තා. පෝස්ට් එක හදන්න විනාඩියක් ගියේ නෑ. දවස් 5යි - shares 8000ට කිට්ටුයි

රූපය 3: අර පලවෙනි එක හදන්න භාවිතා කරපු original post එක. නියම මාධ්ය භාවිතාවක් යොදා ගනිමින්, මේ තරඟයෙන් දිනපු සියලුම දරුවන්ගෙ රූප, ස්ථානය සහ පාසල සඳහන් කරමින් ඒ විස්තර සමාජගත කිරීමට යොදාගත් පෝස්ටුව. විස්තර හොයා ගන්න සෑහෙන කාලයක් ගත කරන්න ඇති. දාලා මාසයයි. ශෙයාර්ස් හැබැයි 110 යි.

මේ කියන කථික තරඟය සහ එහි ජයග්රහනය ගැන පුලුල් මාධ්ය ආවරණයක් තිබුනෙ නැහැ. කොටින්ම එය සංවිධානය කරපු අන්තර්ජාතික සංවිධානයේ ෆේස්බුක් පිටුවෙ වත් මේ ගැන නැහැ. අඩුම ගානෙ දිනපු දරුවගෙ වීඩියෝ එකක්වත් සන්සරනය වුනේ නැහැ. එහෙම තත්ත්වෙක. මේ දෙවැනි පෝස්ටුවෙන් කිව්වෙ මහ විකෘති කතාවක් - "සුක්රාන්ලට කවි ගී ලිව්වට , උඹලට කවි ගී ලියන්න බැරි තරමට මේ අන්තර්ජාලයේ උන් අන්ධයි මගෙ දුවේ" - පෝස්ට් එක හිට් වුනේ ඔය කතාව නිසා.

ඇයි මිනිස්සු වැඩියෙන් ඒ වගේ ඒවා ශෙයා කරන්නෙ?
ඒකෙන් ආමන්ත්රනය කරන්නෙ negative energy එකට නිසා. ඒ කියන්නෙ සුක්රා දියණිය ගැන පැහැදීම්, අගය කිරීම් ඉහල යද්දිම, එය දරා ගන්න බැරි අවකාශයන් සමාජ ජාලා වල නිර්මානය වෙනවා. මේ පෝස්ට් වලින් කරන්නෙ සියුම් ව අන්න ඒ අවකාශය tap කරන එක. ඉන් කියන්නෙ සත්යක්ද, අර්ධ සත්යක්ද, වර්ගවාදීද, කෙරෙන්නෙ අපහාසයක්ද අදාල නෑ, ඒක හිට් වෙනවා. අපි ඒක විවේචනය කරලා ලියන කමෙන්ට් එක පවා, වක්ර මාර්ගයෙන් උදව් කරන්නෙ ඒ පෝස්ට් එක උඩට ඇවිත් 1 සහ විශේෂයෙන්ම 3 වර්ගීකරනයට වැටෙන ඒවා අපේ ඇස ගැටීමෙන් වලක්වන්න.(එහෙම කිව්වට ඔය දෙවෙනි පෝස්ට් එකට, මාත් කමෙන්ට් එකක් දාලා 'චූටි' උපදෙසක් දුන්නා - ඒකට page එකෙන් love heart එකකුත් දාලා තිබ්බා - කියෙව්වදවත් දන්නෙ නැහැ 😉 )

ඔබ සමහර විට දැකල ඇති සමහර පිටු, ලයික් හිඟා කන්න ලියන මේ වගේ ඒවා:
"කොළඹ පොශ් කෙල්ලන්ට වැටෙන ලයික්, කමෙන්ට් මේ වගේ ගමේ කෙල්ලන්ට වැටෙන්නෙ නෑ. ශෙයා කරන්න යාලුවනේ.. අපේ 'ආච්චිගෙ රෙද්ද' පේජ් එකටත් ඒ ගමන්ම ලයික් එකක් දාන්න ප්රෙන්ස්" වගේ ඒවා..

ඒකත් ඒ වගේම අර අවධානය දිනා ගත් යමක් වෙත අත්යන්තයෙන්ම නිර්මාණය වෙන විරෝධය යොදා ගැනීමක් කියලයි මට හිතෙන්නෙ. ආදිත්යා දුව ගැන ලියවුනු කමෙන්ට්ස් තවත් උදාහරනයක්. ගොඩාක් ප්රසිද්ධ අය divorce වීමක් වගේ news එකකට, 'අනේ ජෝඩුව තාම හරිම ආදරෙන් ඉන්නවා' කියන වගේ news එකකට වඩා මිනිස්සු ආකර්ශනය වෙනවනෙ සාමාන්යයෙන්. ඒ මොකද කියලා ඔබ හිතලා තියෙනවද!

ගොඩාක් අද දවසේ අපි දකින YouTube channel, Facebook pages මේ වැඩේ දැන් කරනවා අපිට පේනවා. දෙයක් අලුතෙන් නිර්මාණය කිරීම, දැනුම බෙදා දීම වගේ 'අමාරු වැඩ' වෙනුවට දැන් වෙන්නෙ පරන වඩේම, පරන තෙලේ ආපහු බැදලා විකුනනව වගේ, සිද්ධි recycle කිරීම්. hit වෙන්න පුලුවන් caption එකක් හරි click-bait thumbnail එකක් හරි දාලා වැඩි වැඩියෙන් views වෙනුවෙන් කැත විදියෙ 'අවධානය' හිඟා කෑමක්.. ඒ වෙනුවෙන් අසභ්ය හෝ කුනු රසය ඇති දේ, වෛරය, අන්තවාදය සමඟ අසත්ය/මිත්යා කාරනා එකතු වෙනවා දකිනවා අපි බොහෝ විට.

නිර්මාණ වගේ අපි සමහර විට දකින්නෙ මහ දවල් කරන හොරකම් - අනුන්ගෙ නිර්මාණ, කවි, ඡායාරූප, ලිපි ආදිය තමන්ගෙ වගේ පිටුවල දා ගන්නවා.

ඔය අතර අතිශය නිර්මාණශීලි content creators, comedians, bloggers, vloggers ත් බිහි වෙලා තියෙනවා කියලා මතක් කරන්න ඕනෙ, මේ විවේචනය ඒ අයට නොවේ
අපිට ඒ නිසා කරන්න පුලුවන් වෙන්නෙ, දෙයක් නිර්මානය කරන, මේ බලු පොරයෙන් ඈත්ව සමාජයට අලුත් දැනුමක් බෙදා දෙන අයට වැඩි අවධානයක් දෙන එක. ඒ වගේ channels subscribe/follow කර ඔවුන්ව දිරිමත් කිරීම හරහා හෙට දවසේ කළකිරීම හරහා ඔවුන් නිහඬ වීම නවත්වන්න පුලුවන්. ඒ අතරෙ ඉහත සඳහන් කරපු පිටු හැකි තරම් මඟ හරිමු. නමුත් ද්වේශය, ස්ත්රී ගර්හාව, වර්ගවාදය, රැවටීම සමාජගත කරන උත්සාහයකදී පුලුවන් විදියට ඒ වැරැද්ද පෙන්වා දෙමු. සමහර වෙලාවට මේ පිටු කරන්නෙ පොඩි එවුන්. වැඩි දෙනෙක් දෙයක් කියද්දි, ටිකක් හැදෙන්න පුලුවන් ඉඩ කඩකුත් තියෙනවා. උදාහරනයක් විදියට ඔය දෙවැනි පෝස්ට් එකේ කමෙන්ට්ස් වල මේ පිටුවට සෑහෙන විවේචනයක් එද්දි, ඒකෙ කැප්ශන් එකට කලින් නොදා හිටපු මේ තරඟයට අදාල පසුබිමේ විස්තර දාලා, මේ පෝස්ට් එක එයාලගෙ පිටුවෙ time line එකෙන් දැන් හංගලා. ඒ වෙනුවට සුක්රා දියණිය ගැන අගය කරන පරන පෝස්ටුවක් ඉතිරි කරලා. ඒ කියන්නෙ විවේචන වලින් යම් තරමක සාධනීය බලපෑමක් වෙලා තියෙනවා.
එනිසා මම කියන්නෙ, මරා ගන්න යන්නෙ නැතිව, වැරදි දෙයක් දැක්කොත් පෙන්නලා දෙමු. ගත්තොත් එහෙමයි. නැතොත් ඒත් එහෙමයි 🙂

ඔන්න දැන් නොදැක්කා වගේ යන්න එපා යාලුවනේ.. පොඩි කොල්ලෙ කෙල්ලො ලියන පෝස්ට් වලට වගේ, මැදි වියේ අපි ලියන මේ පෝස්ට් වලට ලයික්, සෙයාර්ස් වැටෙන්නෙ නැහැ.. ලයික් එකක් දාලම යන්න ප්රෙන්ස්! 😉
#ඌරගෙ_මාලු_ඌරගෙම_පිටේ_කිව්වලු #10_දෙනෙක්_කියෙව්වත්_ඇති

Comments

Popular posts from this blog

A miracle, they say!

හිනාවෙයන් කලු හිනා වෙයන්!

සත්තයි නුඹ ඇවිදින්...