අම්මා වගේ වතුර ටික



 අපේ පුතා මේ ලඟදි දවසක ලෙඩ වුනා... ටිකක් තදට ලෙඩ වුනා.

ඇඳෙන් බහින්න බැරි ගානට, උණ, ඇඟේ වේදනාව, බඩේ අමාරු එක්ක එයා දවස් ගානක් ගත කරන හැටි බලා ඉන්න ඇත්තටම අමාරු වෙන ගානට.
මගේ හාමිනේ නිදා ගත්තෙ පුතාගෙ ඇඳ ලඟ බිම, ඒ තමයි රැයේ ඕන වෙලාවක පුතා ඇහැරුනොත්, උණක් ගත්තොත් ඒ ඕන දේකට එසැනින් ක්රියාත්මක වෙන්න පුලුවන් වෙන්න. එලි වෙනකන් උණ බලන්න, කැඳ පොවන්න. ඔය මොකවත් නැතොත්, නළල සිප ගනිමින් ලඟට වෙලා ඔලුව හරි අත ගගා ඉඳලා පස්සෙන්දා වැඩටත් යනවා.
තාත්තා කෙනෙක් විදියට මට පුලුවන් හැම දේම කලත්, ගෙවෙන හැම විනාඩියකම මට දැණුනෙ අපිට අම්මා කෙනෙක්ගෙ සෙනෙහස, කැපවීම ඉස්සරහා හැරෙන්න වත් පුලුවන්ද කියලා. මාත් එක්ක නිතර දොඩමලු වෙන නාඹර තරුන කොල්ලා, ලෙඩ ඇඳේදි පූස් පැටියෙක් වගේ හෙව්වෙ අම්මා විතරයි.
දවසක් ඇය නිවසින් එලියට ගියේ පුතා ගැන ඇහැ ගහගෙන ඉන්න කියලා. ඒ වෙලාවෙ අම්මගෙ රාජකාරිය මට පැවරුනු නිසා මමත් හිටියෙ දේවකාරියක බර ඔලුවෙ තියන් වගේ.
එකපාරට කොලුවා කෙඳිරි ගාන හඬ ඇහිලා මම ඒ පැත්තට (ගියා නෙවෙයි) දිව්වා.
"තාත්තෙ, අම්මා කෝ?" කොලුවාගෙන් පලවෙනි ප්රශ්නෙ යොමු වුනා. අම්මා පොඩ්ඩකට එලියට ගියා, මොනවද ඕනෙ පුතේ කියලා මං ඇහුවා.
මම සැදී පැහැදී සිටියෙ, පුතාගේ ඊලඟ ඉල්ලීමත් එක්ක සැනෙකින් ක්රියාත්මක වෙලා, 'අම්මගෙ අඩුව' පුරවන්න. ඒ වෙලාවෙ පසුබිමේ ගීතයක් විකාශය වුනා නම්, විකාශය විය යුතුව තිබුනෙ ටීඑම්ගෙ 'අම්මා සඳකි' ගීයෙ 'මවකට මුවා වී නුඹ වෙත දිවි දුන්නේ, මම වෙමි පුතුනි, එය මා පමනයි දන්නේ' කොටස.🎵 පිය සෙනෙහසට අරුතක් එක් වෙන්නට මම පුතාගෙන් ඊලග ඉල්ලීම එනතුරු බලා සිටියා.
කොල්ලගෙන් ආවෙ එක ඉල්ලීමයි. වේදනාවෙන් ඒ ඉල්ලීම කරලා, කොල්ලා අනික් පැත්ත හැරිලා නිදා ගත්තා.
"අම්මට ඉක්මනට එන්න කියන්න" 😮
පුතා හරි.
තාක්ශනේ, ලෝක දේශපාලනේ, කොන්ටම්, කොස්මික් මට්ටමේ මහප්රාණ දේවල් තාත්තත් එක්ක කතා කරන්න පුලුවන් වුනාට, තාත්තා කුස්සියට ගියොත්, පුතාට 'කැඳත් නෑ' කියලා ඔහු දන්නවා. ඉන්ටර්නෙට් එකෙන් බලලා/අහගෙන, පැයක් බඩු හොයලා කැඳ එකක් හැදුවත්, ඒකට අම්මා එකතු කරන, අම්මට විතරක් දෙන්න පුලුවන් මොකක්දෝ අමතර දෙයක් අඩු වෙයි කියල ඔහුට හැඟීමක් තියෙන්න ඇති.
මොකක්ද ඒ අමතර දේ?
ලියන්න නොතේරෙන නිසා, නන්දා මාලිනි මහත්මිය ඉස්සර දවසක වෙච්ච සිදුවීමක් ගැන කිව්ව කතාවක් හරහා පොඩි හෝඩුවාවක් දෙන්නම් හැකි තරම් කෙටියෙන්.
නන්දා මාලිනි මහත්මිය යටගිය දවසක, සංගීත වැඩසටහනකට ගිහිලා එද්දි දුර ඈත ගමකදි වාහනේ කැඩිලා. (එතන මට මතක විදියට ධර්මසිරි ගමගේ මහත්තයත් ඉඳලා තියෙනවා.)
වාහනේ රියදුරු තෙමේ එය හදද්දි, වාහනේ ආපු කට්ටිය, පොඩ්ඩක් එහාට ගියාලු පිපාසෙට වතුර ටිකක් හොයාගෙන.
ලඟ ලස්සන වතුර පාරක් ගලා යනවා. බොන්න හොඳද කියලා පිරිස විමසිලිමත් වෙද්දි එතනින් සීයා කෙනෙක් ගියාලු. එයාගෙන් ඇහුවාම මෙන්න මෙහෙම උත්තරයක් ලැබිලා තියෙන්නෙ.
"අනේ දරුවනේ, බය නැතුව බොන්න. ඔය අම්මා වගේ වතුර ටික" කියලා.
කට්ටිය වතුර බීලා එද්දි කතා වුනාලු අර සීයා කියපු කතාවෙ තේරුම මොකක්ද කියලා.
"අම්මා වගේ වතුර ටික"!
දෙයක් ලස්සනයි කියන්න, ඒවා සඳට, මලට, ගහට, කොලට උපමා කරන මේ අයට හිතා ගන්න බැරි වුනා, මේ හද්දා පිටිසර ගමක, එයාලා තරම් කිසිදු ආයතනගත හැදෑරීමක් නොකල වයස්ගත ගැමියෙක්, වතුර අම්මාට උපමා කරපු එක..
ඒ සීයා හරි..
අපි මුලින් දැන ගත්තෙ වතුරද, අම්මද? ලෝකෙට බිහි වෙන්න කලින්ම, ලෙයට ලෙය, හදට රිදමය දෙන මොහොතේ ඉඳලා, දරුවාගේ සම, ලේ ,ඇට, මස් විනිවිද ඇට මිදුලු දක්වා ගලා ගියේ මවගේ ආදරය. එතකොට අපි කරන්න ඕනෙ අම්මගෙ ආදරයට උපමා හොයන එකද, ඒ ආදරය උපමාවක් විදියට යොදා ගන්න එකද?
අම්මට උපමා නැහැ. අම්මා තමයි උපමාව. ඒ සීයා අර එක පේලියෙන් කිව්වෙ ඒක.
තාත්තලා විදියට අපි කරන ආදරය විහිදිලා, පැතිරිලා යද්දි, සියුම් තැන් වලට, අපිට නොපෙනෙන, යා නොහැකි හිඩස් වලට ආදරය යවන්නෙ අම්මලා.. ඒ ආදරය ස්වභාවයෙන්ම ගලා යන සුලුයි. යන යන තැන දරුවන් සනසවලා, උණුසුම, සිසිල එක විට ලබා දෙන්නෙ, උපමාවක් හොයා ගන්න බැරි ඒ ආදරේ.
ගමේ අනේක විධ දුක් විඳින අම්මලගෙ ඉඳලා, නගරේ දහක් ආර්ථික ප්රශ්න මැද්දෙ, ජීවිතේ ගැටගහගෙන කොච්චි වල, බස් වල තෙරපිලා, ටියුශන් පංති ගාව පැය ගනන් හුල්ලන අම්මලගෙ ඉඳලා පිට රටක නම්, පොඩි පොඩි රස්සා දෙක තුන කරගෙන හරි දරුවන්ට උගන්වන්න, හොඳ පුරුදු කියාදෙන්න තමන්ගෙ ජීවිතේ අපමන ලෙසින් කැප කිරීම් කරන සියලු අම්මලාට මම කියන මේ දේ අදාලයි.
අද මව්වරුන්ගේ දිනය ද, අද මගේ අම්මාගේ හෝ බිරිඳගේ උපන්දිනය දැයි මේ කියවන ඔබට සමහරවිට දැන් කුතුහලයක් එනවා ඇති. එය සාධාරණයි.
නැහැ, අද කිසිම විශේෂ දිනයක් නොවේ.. ඒ නිසාමයි මේ ලිව්වෙ. ලියන මාත්, කියවන ඔබත් (දහ දෙනෙක් කියෙව්වත් ඇති) එක මොහොතකට හෝ, මා එක්ක, ඔබගේ මවගේ, බිරිඳගේ අපරිමිත දරු සෙනෙහහස මතකයට නගා ගත්තා නම්...
අද තමයි මව්වරුන්ගේ දිනය.
අම්මට උපමා නැහැ..
දවසක් නැහැ..

Comments

Popular posts from this blog

A miracle, they say!

ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සහ Sri Lanka Decides 2024

සත්තයි නුඹ ඇවිදින්...