ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් සහ Sri Lanka Decides 2024


 
ඇයි මම මේ ලිපිය ලියන්නේ?

මම Facebook වල හෑලි ලියන්නෙක්. නමුත් දේශපාලනය සම්බන්ධයෙන් සාමාන්‍යයෙන් ලියන්නෙ නෑ. විශේෂයෙන්  ඡන්ද කාලෙක එලෙසින් අදහස් ප්‍රකාශ කරලම නෑ.

නමුත් අද දවසේ මම වෙනසක් කරනවා.
ලංකාව  මේ මොහොතේ පසු කරන්නේ ඉතාමත්ම සුවිශේෂී මොහොතක්. මේ මොහොත සම්බන්ධ ව, මගේ කියවීම දැන් සටහන් කොට තැබුවහොත්, කවුරු කියෙව්වෙ නැතත්,  එය මට පසුකාලීනව retrospective කියවීමකට හොඳයි.

කෝච්චියේ කිහිප වතාවක් තැබූ සටහන් කිහිපයක් එකතු කොට, ජනාධිපතිවරණය පැවැත්වෙන අද දවසේ කෙසේ හෝ, පළමු ඡන්ද ප්‍රතිඵලය ලැබීමට ප්‍රථම මගේ බ්ලොග් සටහනක් ලෙස ප්‍රකාශ කරන්නටයි මේ උත්සාහය. 

මම මේ ලිපිය ලියද්දී, ශ්‍රී ලාංකීය ජනතාව නම වැනි විධායක ජනාධිපතිවරයා තෝරා ගැනීම වෙනුවෙන් මේ මොහොතේ ඡන්දය ප්‍රකාශ කරමින් සිටිනවා. ඈත සිට වුවද මම මගේ ආදරණීය රටට සුබ පතනවා.  අප මතක ඇති කාලෙක අත් විඳ නැති විශාල පෙරලියක සේයා පෙන්වන මෙවර ජනාධිපතිවරණයේ උණුසුම සමාජ මාධ්‍ය ජාලා ගිනියම් කරමින්, එම මඟ නොහැරෙන තැනකට අපව පත් කරලා.

 මා රටින් විප්‍රවාසීව සිටියත්,  මගේ දෙමව්පියන්, සහෝදර සහෝදරියන් සිටින්නේය ලංකාවේය. මම තවමත් ශ්‍රී ලාංකීය පුරවැසියෙක්. ලැයිස්තුවක් ලෙස කියන්නට උනන්දුවක් නැතත්, නන් අයුරින් ලංකාවට  උදව් කරන මා, නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙන ගත් දරුවෙක් විදියට,  ඉදිරියටත් ලංකාවට එලෙසින් උදව් කිරීමට බලාපොරොත්තු වෙනවා. එනිසා කියන්න දෙයක් නෑ රටට හරියන එක, රටට අපෙන් දෙයක් ගන්න පුළුවන් තැනට රට පත්වෙන එක, අපෙත් බලාපොරොත්තුවක්. 

මේ ලියන්නේ ඒ  ඇම්ම  වෙනුවෙන්.


ප්‍රවේශය : ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට්


ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කන්ඩායම කාලයක් තිස්සේ වැඩි අවධානයක් නොමැතිව, අප්‍රතිහත කැපවීම මධ්‍යයේ, බාධක කම්කටොලු මතින් පියමන් කොට මේ වනවිට, ආසියානු ශූරතාවය දිනා අතිශය ජනප්‍රියත්වයක් හිමි කරගෙන ඇත. 

දුර ඈත පලාත්වලින් පැමිණි යුවතියන් බොහෝ දෙනෙක්ගෙන් සමන්විත මේ කන්ඩායමේ මේ මොහොතේ ලබා සිටින සාර්ථකත්වයේ රහස චමරි අතපත්තු නම් world class නායිකාව වටා කේන්ද්‍රගත වීම හරහා බව  පැවසීම අතිශයෝක්තියක් නොවේ. 

ඔවුන් කෙතරම් සාර්ථකද යන්න පෙනෙන්නේ, ශ්‍රී ලංකා පිරිමි ක්‍රිකට් කන්ඩායම වෙනුවට, මේ කෙල්ලන් ක්‍රීඩා කරවිය යුතු යැයි ක්‍රීඩා රසිකයන් විහිලුවට මෙන් සමාජ මාධ්‍ය තුල යෝජනා කරන්නට පටන් ගත්විටය. 

පිරිමි කන්ඩායම ලජ්ජා සහගත ලෙස පරාද වෙන්නට පටන් ගත් විට, , ක්‍රීඩාගාරයෙන් එලියට අපේක්ශාබංගත්වයෙන් පැමිණෙන රසිකයින්ට යොමු වුන මාධ්‍ය මයිකොෆෝනයට  ඔවුන් " මීට හොඳයි චමරිගෙ ටීම් එක දාලා ගැස්සුවනම්" කියන තැනට පත් වෙලා.

මෙය මේ ලිපියට ගැලපෙන්නේ කෙසේද යන්න පසුවට තබා, අපි යමු වත්මන් ලාංකීය දේශපාලන කතිකාවතට

2024 ජනාධිපතිවරණය - කාටද රැල්ල?

මම හිතනවා මේ මොහොතේ ජනප්‍රියත්වයේ ඉන්නේ මාලිමාව. ඒ ඇයි?

 දිගට ලියන්න ඕනෙ එකක් නමුත් කෙටියෙන් කිව්වොත්, මේ වෙලාවෙ ඒ අය තමා  'අද දවසේ' ජනතා අපේක්ශාව නියෝජනය කරන්නෙ.  2022 අරගලයත් එක්ක ආපු, පවතින මජර දේශපාලන සංස්කෘතිය  ගැන මිනිසුන්ට ඇතිවුන පිලිකුල, ඉතා දක්ශ විදියට තමන් කෙරෙහි වෙන ආකර්ශනයක් විදියට පරිවර්තනය කර ගන්න ඔවුන්ට පුලුවන් වුනා.  

ඒක අහම්බෙන් වෙන දෙයක් නොවේ. එයට ආකර්ශනීය නායකයෙක් (charismatic leader) ඕනෙ. දිවයින පුරා විහිදෙන්න පුලුවන්, අරමුන වෙනුවෙන් පට්ට විදියට කැපවෙන්න පුලුවන් ශූර මිනිස් ජාලයක් ඕනෙ. සාමාන්‍යයෙන් මිනිස්සු කිහිප දෙනෙක් එක්ක පටන් ගන්න මරණාධාර සමිතියක් කරන්න ගියත්,  පොදු වැඩවලදී, අපේ මිනිස්සු සංසාරෙ එපා කරවන හැටියට, කිසිම මූල්‍ය වාසියක් තමන්ට පුද්ගලිකව් නොලැබෙන මේ වගේ ජනතා ව්‍යාපාරයක් මේ මට්ටමෙන් සංවිධානගත කරන එක කිසිසේත්ම ලේසි වැඩක් නොවේ.  ඒකට තමන්ගේ අරමුණ වෙනුවෙන් අනුරාගිකව බැඳෙන්න ඕන. 

අනිත් එක පට්ට සුබ නැකත එයාලගෙ. මොකද ඔවුන්ට වැඩිම හයිය දෙන්න ජවිපෙ විරෝදී බලකායෙ මේ වෙලාවෙ තියෙන අසමඟිය. ඒ අය රනිල්, සජිත්, නාමල්, දිලිත් ආදී ලෙසින් වෙන වෙනම කැඩීම නිසා භූමියේ වාසිය මාලිමාවට හැරවිලා තියෙන්නෙ.

මෙතනින්, මට තේරෙන විදියට අතට ආපු එක කටේ දා ගන්න බැරිව නෑවෙ සජිත්.  පෝස්ටරයක්වත් නොදා නිකන්ම ලක්ශ තිහකට වඩා ගැරන්ට් කරලා ගන්න පුලුවන්  block votes එකක් තියෙද්දි, සජියගෙ තියෙන අධි මානෙත් එක්ක එයා හැම මගුලම පුලුවන් all rounder කෙනෙක් වග පෙන්වන්න ගිහින් එහෙම් පිටින්ම විහිලුවක් වුනා. 

කෙනෙක්ව පුද්ගලික judge කරන්න කලින් මම සෑහෙන්න හිතනවා, ඒත් සජියා සම්බන්ධ වීඩියෝ closely බලද්දි පේනවා එයා මාර මාන්නෙකින් ඉන්නෙ කියලා. කැමරා වැඩ කරන තැන එහෙම නම්, මිනිස්සු එක්ක පුද්ගලික මට්ටමෙන් වැඩ කරද්දි, කොහොමට rude ඇත්ද කියලා හිතා ගන්න පුලුවන්.

 තනි අශ්වයගේ ගේමක් කර ගන්න තිබ්බ එකක්, සර්කස් එකක් කරගෙන, ඒ සර්කස් එකේ 'ජෝකර්' වුන එකට සජියාම තමා වගකියන්න ඕනෙ.   නිකමට හිතන්න චම්පික රණවක සජිත් හිටපු තැන හිටියනං මේ ගේම් එක කොයි වගේ වෙයිද කියලා. (බොහෝ දුරට ඒක තමයි ඊළඟ ස්ටෙප් එක චම්පිකගෙ  - සජියා මේ පාර පරාද වුනොත්.)

නාමල්, දිලිත් එහෙම නම් ඉල්ලපු එකත් අපරාදෙ, සමහර විට ඒවා අනාගත ආයෝජන වෙන්න පුලුවන්. නාමල් සමහර විට රාජපක්ශ votes block එක කීයද කියලා බලාගන්නවා වෙන්න පුලුවන්.  ඒ අනුව අලුතෙන් මොකා පත් වුනත්, එයාට ගණන් හදා ගන්න පුලුවන් බලය අල්ලන විදිය. 

‍ලංකාවේ සෑහෙන ආර්ථික කඩාවැටීමක් වුන වෙලාවෙ රටේ යම් ස්ථාවරත්වයක් ලබා දීම නිසා, තරමක ප්‍රසාදයක් ලබා ගන්නට රනිල්ට හැකි උනත්, බහුතර ජනතාවගේ කලකිරීමට හේතු වූ, දුෂිත දේශපාලනික ක්‍රමයේම ගල් කනුවක් වීම නිසා ඔහුට සැලකිය යුතු ඡන්ද පදනමක් තිබේ යැයි සිතන්න බෑ.

තමන්ගෙ පවුලෙ එවුන්ට, හිතවතුනට කුට්ටිය දෙන, මහජන මුදල් හිතු මතේ වියදම් කරමින්, නීතිය තමන්ගෙ වාසියට නවන කට්ටිය එකට තියලා හෙලි කරලා, ඒ ගොඩේ 'අනෙකා' බවට පත්වෙන්න, අනුරට ලේසියෙන්ම පුලුවන් වුනා.  ඊට එදිරිව ජවිපෙ විරෝදී මතය එක තැනකට ගන්න ඔවුන්ගේ ප්‍රතිපාර්ශවයට බැරි වුනා. 

ඔය අතරෙ මාලිමාව වෙනද නොකරපු ස්මාට් වැඩක් කරා. ඒ තමයි බෞද්ධ භික්ශූන්, හමුදා නිලධාරීන්, කාන්තාවන් තමන්ගෙ ව්‍යාපාරයට මහා තැනක් දීලා පිලි ගැණීම. විශේෂයෙන් ජවිපෙට තිබුණ බෞද්ධ විරෝධී ලේබලය  අයින් කර ගන්නට ටිකක් මහන්සි වෙන වග පේන්න තිබුනා. 

සාමාන්‍යයෙන්  සංස්ක්ෘතික දේවල් නිර්දය ලෙස ප්‍රශ්න කරන, අපහාසයට ලක් කරන වෙනදා සුපුරුදු රැඩිකල් කතා ඒ දවස්වල දකින්නම වගේ නැතිවීම අහම්බයක් වෙන්න බැහැ. බොහෝ දුරට, මැතිවරණ වේදිකාවේ වැරදිලාවත් සම්ප්‍රදායට, ඇදහීමකට, වක්‍ර මාර්ගයෙන් හෝ පහර වදින දෙයක් නොකියන ලෙසට දේශපාලන නායකත්වයෙන් කථිකයන්ට උපදෙස් ලැබී තියෙන්න ඇති. 

සම්ප්‍රදායික කාරනා හෝ ජාතිකත්ව කාරනා ඔවුන්ගේ නාඩියේ නැතිව වුවද, රටේ බලය ලබා ගැණීම වැණි කාරනයකදී, පොදු ජන විඤ්ඤාණය වෙනුවෙන් එලෙසින් හැඩ ගැසෙන්නට පුලුවන් වීම ඔවුන්ගේ මෑත කාලීන ජනතා ආකර්ශනයට තවත් හේතුවක් විය යුතුය.


මාලිමා ලොකු ලයින්

සාමාන්‍ය මිනිසාගෙ නාඩිය කියවූ මාලිමාව වටා මිනිස්සු එක් වෙන්න ගත්තා.  ඒක ටිකක් බුකියෙ over dose ගානට යනවද කියලත් හිතුනෙ, වෙනස් මතයක් දැක්ක තැන, mob එකක් වගේ කල්ලි ගැසෙමින් ගහන විදිය දැකලා. විහිලුවක් වෙන ගානට, ඕන තැනයි එපා තැනයි 'අපි මාලිමාවට' අලවමින් යන සොම්බීන්, මිනිසුන්ට අදහස් වලින් අභියෝගය කරනවා වෙනුවට ඒ අයට වහලා, බයියා හෝ සතුන්ගෙ නම් කියමින් ගර්හා කරන එක දකින්න වීම නිසා, බොහො දෙනෙක් මාලිමාවට ප්‍රතිවිරෝදී අදහස් දක්වන්න මැලිවෙන නැඹුරුවක් තිබ්බා.

තමන්ට හරියි කියන මතයෙ ඉන්න සහ එය ප්‍රකාශ කරන්න, තවත් කෙනෙකුට අයිතියක් තියෙනවා. ඒ අය 'බත් කන හරක්', 'වහලුන්' ලෙස ලේබල් කොට, තමන් ඉතා බුද්ධිමත්, සුවිශේෂී කාන්ඩයක් බව හඟවන්නට යන තැන් කිසිසේත්ම අනුමත කරන්න බැහැ.

ඊට අමතරව, දරා ගන්න බැරි තරමට ඇග හිරි වැටෙන බොලඳ තැන් එහෙම දිනපතා දකින්න වුනා.  අනුර අත අල්ලා ගත් හාමුදුරු කෙනෙක්ගෙ කඳුලු, අනුර අම්මගෙ කකුල අතගාන විදිය, වේගෙන් පඩිපෙල් නඟින විදිය, ඒ හිනාවෙ ලස්සන ආදිය ගැන කියවෙන ගොඩාක් තැන් පට්ට cringe ලෙවල් එකකට එද්දි මට අවංකව හිතුනේ ඒ අනුර දිනන ලකුණු කියාය. මොකද ගෝටා, මෛත්‍රී, මහින්ද ආදීන්ද බලයට පත්වෙන කිට්ටුව ඔය වගේම ඇඟ හිරි වැටෙන දේවල් දකින්නට වෙන්න වූ නිසාය. 

ඒ නිසා cringe එක කමක් නෑ කියලා ඉවසුවා කියමුකො. ලොකු ලයින් තමා කාලා ඉන්න බැරි හැබැයි.

මේක කියවන මාලිමා රසිකයෙක්, මෙය කතා කරන්නවත් දෙයක් නොවේ ලෙස බොහෝ විට දකීවි. නමුත් ඒ අයට මට මතක් කරන්න තිබෙන්නේ මෑතක ඉතා ජනප්‍රිය වූ සටන වැඩසටහනේ,  අතිශය ත්‍රිල් එකේ ප්‍රීතිඝෝශා කරන මැදිරියේ සිටි මාලිමා ආධාරකරුවන්ට, අනුරට තම මුවට ඇඟිල්ල තබා නිහඬ වෙන ලෙසට සන් කරන්නට සිදු වීමය. 

දේශපාලන සංස්ක්ෘතිය වෙනස් වෙන්න ඕනෙ දෙපැත්තෙන්ම. 

මේක මම අරගලය කාලෙත් දැක්කා. මිනිසුන්ගේ අපේක්ශා භංගත්වය  ඉදිරියේ ගෝටාභය ජනාධිපති එය  නොසලකා, එය  ජනතා නැගිටීමක් විදියට එද්දී, මම පුද්ගලිකව එයට සපෝට් කලෙමි. එය රාජපක්ෂ ආන්ඩුවක් ඉල්ලන් කෑමක් ලෙස මම අදටද විශ්වාස කරමි. 

නමුත් මම කිසි ලෙසකින් ප්‍රචන්ඩත්වය හෝ මතවාදී ත්‍රස්තවාදය  අනුමත කරේ නෑ. ඒත් කියන්න ලැජ්ජයි, බුකියෙ දවස පුරා මානවවාදෙ වපුරපු  සමහර 'සංවේදී' මිනිස්සු, තමන්ට විරුද්ධ මතවාදයක් දරපු  මිනිස්සුන්ගෙ ගෙවල් ගිනි තියද්දි, මහමඟ තිරිසන්නුන්ට වගේ නිරුවත් කරලා පහර දෙද්දි, මරා දමද්දි  ඒවා එක්කො අනුමත කරා, නැත්නම් නිහඬව හිටියා.  

මම දන්න මානවවාදෙ රෙද්ද පල්ලෙන් බේරුනු කවියෙක් මගේ ලැයිස්තුවෙ හිටියා, රටම ගිනි ගන්න වෙලාවෙ, ඊලඟට ගිනි තියන්න ඕනෙ මිනිසුන්ගෙ ලැයිස්තුවක් බුකියෙ දාපු. (ඒක ආවේගෙට ලියපු එකක් වෙන්නැති කියලා සැකේ වාසිය දීලා, දවස් දෙකකට විතර පස්සෙ messenger එකේ පනිවිඩයක් දීලා ඇහුවා තාම ඒ මතේද කියලා. හෙන සිංහ නාදයක් එක්ක ඒ නරුම වැඩේ වෙනුවෙන් පෙනී සිටියා. එයා මම එතනම unfriend කරා. )

තව හෙනම රැඩිකල් ලියන්නෙක්, රට ගිනි ගන්න වෙලාවෙ, ලියලා තිබ්බා හේනක් උනත් අලුතෙන් ලියලන්න පුච්චලා ගන්න ඕනෙ කියලා. 

උගත් එවුන් අන්තගාමී වෙන එකේ භායනක කම ඕක. උන් දන්නවා ඕන ජඩ වැඩක් දැනුම හරහා සාදාරණීය කරන්න. 

මම දන්නවා මේ වෙලාවෙ මේ වගේ නිරීක්ශණයක් කියද්දි මාලිමා රසිකයින්ට අවුල් යනවා. මට බනින්න කලින් නිකමට හිතලා බලන්න, ඔබත් දැන හෝ නොදැන පොහොර දාපු ඒ වගේ නැබුරුවක් තිබුනෙ නැද්ද? එය සාධාරණව හිතුවොත් ඔබට අනුමත කරන්න පුලුවන්ද?

ජයග්‍රහනයෙන් පස්සෙ, මේ ඕවර් ඩෝස් එක සමනය වෙයි කියා අපි ප්‍රාර්ථනා කරමු. එහෙම නොවුනොත්, පූජාසනයේ තියපු කෙනාටම, පොඩ්ඩක් එහෙට මෙහෙට වෙච්ච ගමන් පලමු ගල ගහන්නෙත් එහෙම අය. ඒකයි මේ වගේ 'මා හරි උගතා', 'මා හරි ජගතා' සිතනා මිනිසුන්ගෙ භයානක කම..


 දිනුවට පස්සෙ අභියෝගෙ..

මාලිමාව දිනුවොත්, ඔවුන් ඉදිරියේ තියෙන  අභියෝගෙ ලේසි නෑ. ඒ ගැණ අනිවාර්‍යෙන්ම ඔවුන් සබුද්ධිකයි. මට හිතෙන්නෙම මේක හරියට, පිරිමි ක්‍රිකට් කන්ඩායම වෙනුවට, ඉතා ජනප්‍රිය සහ දක්ශ චමරිගෙ නායකත්වය එක්ක කාන්තා ක්‍රිකට් කන්ඩායම ක්‍රීඩා කරන්න දැම්ම කියලා.

පොඩ්ඩක් හෝව්! මම මෙතන කාන්තා ක්‍රිකට් කන්ඩායම පහලට දානවවත්, මිනිසුන්ගෙන් ප්‍රතික්ශේප වුන, පාලක නඩය පිරිමි කන්ඩායම කියනවවත් නොවේ. මෙතන පිරිමි ක්‍රිකට් කියල මම  අදහස් කරන්නෙ, භූ, ආර්ථික සහ දේශපාලනිකමය පිටිය. ඒකෙ ඉන්දියාව, චීනය, ඇමරිකාව වගේ රටවල් බැලන්ස් කරන්, ධනවාදී  ආර්ථික ක්‍රමයක, පට්ට ණය කන්දරාවක ගිලුනු අපේ දුප්පත් රට, ජාත්‍යන්තර මූලය අරමුදලෙ යෝජනා එක්ක, හරි හමන් නිශ්පාදන ආර්ථිකයක් නැතිව, දරාගන්න බැරි පරිභෝජන ආර්ථිකයක හිර වී ඉස්සරහට යන ගමන.    ඒක එහෙම් පිටින්ම හෙන අමාරු පිච් එකක බැට් කරනවා වගේ වැඩක්.

මාලිමාව එන්නෙ මාක්ස්වාදී දේශපාලනික කෝර් එකකින්. මම කාන්තා ක්‍රිකට්, පිරිමි පිච් එකක බැට් කරනවා කිව්වෙ ඒ අර්ථෙන්. 
මාලිමාව කියන්නෙ ජවිපෙ නොවන බව හරි. එය දේශපාලනික ව්‍යාපාරයක් කරන්නට ව්‍යවසාකයයින්, වෘත්තිකයින්, කලකරුවන්, සිවිල් සංවිධාන එකක් පුලුල් එකමුතුවක් වී දේශපාලනයට ආවට, එහි මද්‍යයේ දේශපාලනය කරන්නෙ ටිල්වින් වගේ මාක්ස්වාදී ක්‍රියාකාරිකයින්. ඒ කියන්නෙ වාහනේ බොඩිය මොඩිෆයි කරාට එන්ජිම තාම ජවිපෙ. (මම දන්න තරමින් ඔවුන් සමාජවාදයෙන් වෙනස්ව මේ ගමන යන බවක් කියලා නෑ. පරතිපත්ති ප්‍රකාශයේ එවැන්නක් තිබුනාද දන්නෙ නෑ මොකද මම, හයිලයිට්ස් කිහිපයක් හැර සම්පූර්ණ එක නොකියවපු නිසා. එය ගැන සඳහනක් තිබේ නම්, කමෙන්ට් කරන්න. ඒ ගැන දැනුවත් වෙන්න සූදානම්.)

කෙසේ නමුත් මේක ලේසි තරඟයක් නොවේ. මගේ පුද්ගලික අදහස, අපේ පාලනයෙන් තොර කාරනා (ලෝක ආර්ථික අවපාත, තෙල් මිල, මැද පෙරදිග) එක්ක කිසිසේත්ම ඉදිරිය පුරෝකථනය කරන්න බෑ.

ඒ නිසා එක පාරකට එක ස්ටෙප් එකයි.. ඒකෙදි මිනිසුන් මේ මොහොතේ ඉල්ලා සිටින්නේ දූශණය නාස්තිය අවම කිරීම, නීතිය ක්‍රියාත්මක වීම වගේ දේශපාලන සංස්ක්ෘතියට අදාල කාරනා. මට හිතෙනවා ඒ කාරනා වලින් මාලිමාවට හයේ ඒවා ටිකක් ගහන්න පුලුවන් වෙයි කියලා. 

මට හිතෙනවා ඒකත් එක්ක අනික් දේශපාලන පක්ශවලට බල කිරීමක් එනවා, මිනිසුන්ගෙන් ප්‍රතික්ශේපිත සන්ස්ක්ෘතිය නියෝජනය කරන බහිරවයන්ගෙන් මිදිලා, ඒ පක්ශවල නැවුම් නියෝජනයකට.  එහෙම වුනොත් ඒක අලුත් සාධනීය දේශපාලනය‍ක ආරම්භයක් වෙයි.
ඒ නිසා හෙට නොවුනත්, අනිද්දට වම, මැද සහ දකුණ නියෝජනය කරන, අන්තර්ජාතික සබඳතා, ආර්ථික කාරනා සම්බන්ධව අන්තර්ජාතික පිටියේ තරඟ කරන්න පුලුවන් කන්ඩායමක් බිහි වේවි.

ඒ නිසා මේ මොහොතේ මාලිමා ජයග්‍රනයක් දිහා මම බලන්නෙ cautiously optimistic විදියට. 

අවසාන වශයෙන්  තවම ප්‍රතිපල නිකුත් වෙලා නැති නිසා, මගේ  අනාවැකියත් සටහන් කරලා තියන්න හිතුවා.
මම හිතනවා මාලිමාව 40-45% අතර ගනීවි.  සජබෙ සහ රනිල් එකතුව 45% වගේ වෙයි. (රනිල් 12% වෙයි කියලා මට හිතෙනවා).
මම මේ පෝස්ට් එක පරතිපල ආවට පස්සෙ වෙනස් කරන්නෙ නෑ.
මේක මගේ ගට් ෆීලින් එකෙන් කියන නිසා මට හිතෙනවා, මම කොච්චර යථාර්තයට දුරද ලඟද කියලා මට බලා ගන්න කියලා මේක මෙහෙම තියෙනවා.

එසේ නම් මගේ හෑල්ල එපමණයි. බුකියෙ නොලිව්ව එකම හොඳයි කියලා දැන් හිතෙනවා අවංකවම.

මගේ  ආදරණීය මව් රටට සුබ අනාගතයක් වේවා!


Comments

Popular posts from this blog

A miracle, they say!

සත්තයි නුඹ ඇවිදින්...