දන්න දරුවෙක්ට, AL විභාගෙ වෙනුවෙන් යැවු සුබ පැතුමක්!
පුතා, සුබ උදෑසනක්!
හෙට උසස් පෙල විභාගෙ නේද?- ඒ හින්දා මම හිතුවා ඔයාට සුබ පතලා සටහනක් එවන්න.
ඒ එක්කම මම උසස් පෙල විභාගෙ අතරතුර ඉගෙන ගත්තු ජීවිත පාඩමක් තියෙනවා, මම මේක නිතර බෙදා ගන්නවා මගේ ගාව Maths ඉගෙන ගන්න දරුවො එක්ක. මට හිතුනා ඔයා එක්කත් ඒක බෙදා ගන්න.
මේකයි කතාව පුතේ..
මම උසස් පෙල ලිව්වෙ 1994 අගෝස්තු - ඒ කියන්නෙ මේක වුනේ අවුරුදු 32ට කලින්. නමුත් ඒක මම දැන් ඉන්න තැනට කෙලින්ම සම්බන්ධයි. කියවං යද්දි ඔයාට තේරෙයි ඒ කොහොමද කියලා.
විභාගෙ මුලින්ම තිබ්බෙ ව්‍යවහාරික ගණිතය (Applied Maths) පලවෙනි පේපර් එක. මේ වෙද්දි මම හොඳටම සූදානම් වෙලා තිබ්බෙ කොහොමත් ඩබල් මැත්ස්. අපේ කාලෙ විෂයන් හතරක්නෙ. ඒකෙන් මම Physics සහ ඩබල් මැත්ස් හොඳටම සූදානම් වෙලා තිබ්බෙ. මම Chemistry වලට ඒ ගානටම තිබ්බෙ නෑ ඒත් B එකක් දාගන්න පුලුවන් කියන ශුවර් එකේ හිටියා. ඒ කියන්නෙ මම පිස්සුවක් නැටුවෙ නැතොත්, A තුනයි B එකයි දා ගන්න පුලුවන් ගානට සූදානම් වෙලා හිටියෙ.
කොහොම හරි ඔන්න විභාගෙ පලවෙනි දවසෙ පලවෙනි පේපර් එකට වාඩි වුනා. ඒකෙත් පලවෙනි පැය භාගෙ කියන්නෙ තීරණාත්මකම මොහොත. ඇයි? ඇප්ලයිඩ් පේපර් එකේ ගණන් 12ක් තියෙනවා. ඒකෙන් හයක් තෝරන් හදන්න ඕනෙ පැය තුනක් ඇතුලත. ඒ කියන්නෙ එකකට පැය භාගයයි. (මම දන්නෙ නෑ තාම එහෙමද කියලා - මේ එක්දාස් නමසිය බර ගණන්වලනෙ
එ නිසා ඕනෙම කෙනෙක් කරන්නෙ තමන්ට ශුවර්ම ජාතියෙ ගානක් පුලුවන් ඉක්මනින් මුලින්ම හදන එක. මම ඒ වෙනකොට අඩුම ගානෙ අවුරුදු විස්සකවත් පේපර් කරලා, හොඳ අවබෝධයක් තිබ්බා මට ඇස් පියන හදන් පුලුවන් ගණන් මොනවද කියලා.
මගේ නොම්බර එක අවස්ථිතික ඝූර්ණය (Moment of inertia). ඒක ගොඩ දෙනක් අත නොගහන, හරියට අල්ල ගත්ත කෙනාට ලේසියෙන්ම, අඩු කාලෙකින් කරන්න පුලුවන් මම අඳුරගත්තු හොඳම තුරුම්පුව. අවුරුදු විස්සක ආපු ගණන් කිරිකජු වගේ කරලා තිබ්බ නිසා මට මම ගැන තිබ්බෙ එක්තරා විදියක අධි තක්සේරුවක් (දැන් හැරිලා බලද්දි).
පේපර් එක අතට ගත්ත ගමන්, කෙලින්ම ගියේ අන්තිම පිටුවෙ දොලොස්වෙනි ගානට, ඒ තමා මගේ ශුවර්ම ශොට් එක - අවස්ථිතික ඝූර්ණය. පලවෙනි කොටස ඇස් පියාගෙන වගේ ලිව්වා.
නමුත්...
දෙවෙනි තුන්වෙනි කොටස්, දෙතුන් පාරක් නැවත නැවත උත්සාහ කරත්, උත්තරේ එන්නෙම නෑනෙ. මගේ ඇස් බොඳ වෙන්න ගත්තා. එක පාරටම ලෝකෙම මං වටේ කැරකෙන්න ගත්තා. දෙමාපියො, පාසලේ ගුරුවරු, යාලුවො තියාගෙන ඉන්න බලාපොරොත්තු ඔක්කොම මතක් වෙලා ඔලුව තවත් විකාර වුනා. මම වෙලාව බලනවා. දැන් විනාඩි විස්සක් විතර ගිහින්, මට ඒ ගානෙන් ගොඩ ඒමෙ ඡායාවක්වත් නෑ - ඒ එක්කම දන්නවා, ඔතන මොකක් හරි පොඩි දෙයක් මට අත හැරිලා ඇත්තෙ, ඒක අහුවුන ගමන් විනාඩි දෙක තුනකින් මේක ගොඩ දානව කියලා ඒ නිසා මම තිස්වෙනි විනාඩිය යද්දිත්, මුහුදෙ පිහිනන්න පොරබදින මිනිහෙක් වගේ අතාරින්නෙ නැතුව මේක මත්තෙම නහිනවා. ඒ වෙලාවෙ ගාන හදනවට වඩා මම කරේ මගේ හිතත් එක්ක සටනක්. ඒකෙන් මම තවත් විඩාවට පත් වුනා.
දැන් වෙලාව මගෙන් ගිලිහෙන්න පටන් ගත්තා. තිස්පස්වෙනි විනාඩිය පහුවෙනවා එක්කම මම හොඳටම හෙම්බත්. උසස් පෙල ඉහලම ලකුනු ගන්න හීනෙ තියා, මේ පේපර් එකේ පලවෙනි ගානවත් ඉවරයක් කරන්න බැරි වුන එක මාව මානසිකව පෙලන්න ගත්තා.
ඒ වෙලාවෙ මම තීරණයක් ගත්තා. ඒ ගාන අල්ලාගෙන ඉන්න තරමට, මට මේ විභාගෙ ගිලිහෙනවා. ඒ නිසා මම ඒ මානසික බර පැත්තකින් තියලා, සැහැල්ලු හිතින්, අලුත් ජවයකින් ඉතිරි ටික අල්ලනවා කියලා. මම හිතා ගත්තා, පලවෙනි wicket එක ගියාට, තව wickets තියෙනවනෙ. හරියට සෙට් වුනොත් හයේ ඒවා ගහලා මැච් එක දිනවන්න පුලුවන් වුනොත්, විකට් ගාන ආදාල නෑනෙ. ඒ නිසා මම 'සැහැල්ලුවෙන්' හෙව්වා, 'හයේ ඒවා ගහන්න පුලුවන්' ගණන්.
විශ්වාස කරන්න, ඒ අලුත් සැහැල්ලුවත් එක්ක, හිත නිදහස් වුනා, එතකොට අර විභාගෙට කලින් සූදනම් වෙලා ඔලුවට දාගත්තු සියල්ලට මම ආයෙ open වුනා. ඉතිරි ගණන් දෙක තුන හැදුවෙ විනාඩි 15,20න් වගේ. ඒ කියන්නෙ මම සම්පූර්ණයෙන්ම ගණන් හයක් හදනවා ඉතිරි පැය 2න් වගේ. එහෙම කරලත් මට විනාඩි 15 ක් වගේ මට මතක විදියට ඉතිරි වුනා.
මට බැරි වුන පලවෙනි ගාන ආයෙ මම බලනවා. මට හිතුනා ඒක ඒ මොහොතෙ හරි මට එක පාරට පෙනෙයි කියලා. නමුත් මම හිටියෙ එතකොට පුදුම සතුටෙන්. ඒක හරියට මැච් එක දිනුවට පස්සෙ පලවෙනි විකට් එක ගිය විදියෙ slow motion බල බලා, ඇයි වැරදුනෙ කියලා හිතනවා වගේ වැඩක්.
විශ්වාස කරන්න මට ඒ ගාන හදා ගන්න බැරි වුනා ඒ වෙලාවෙත්, සාමාන්‍යෙයන්, අපි එක පීල්ලකට වැටුනොත් ඒකෙන් ගොඩ එන්න, අලුත් විදියකට හිතන්න හරි අමාරුයි. අපි ඒක බලද්දි අපෙ මොළේ යන්නෙම ඒ වැරදි පීල්ලෙ. ඒ නිසයි මට තේරුනෙ, ඒ ගාන අමතක කරලා අලුතෙන්ම අනික් ගණන්වලට ගිය එකම තමා මගේ එදා ගැලවීම වුනේ කියලා.
එදා ඒ ආපු පන්නරේ එක්ක මම අනික් පේපරුත් හොඳටම කරා. අමාරු වෙයි කියලා හිතපු Chemistry එකත් හිතුවට වඩා හොඳට කරා. ඒ නිසා මම හිතපු A තුනයි B එක (අවමයෙන්) ලැබෙයි කියලා හොඳ විශ්වාසයක් මට තිබුනා.
ප්‍රතිපල එද්දි මට A හතරයි. පාසලෙන් විතරක් නොවේ මම ගාලු දිස්ත්‍රික්කයෙන්ම පලවෙනියා වෙලා. එතනින් පස්සෙ මගේ ගමන් මඟ තීරනය වුනේ මේ ප්‍රතිපල මත.
නමුත් මමයි දන්නෙ, මම එතනට එන්න මම විභාගෙ පලවෙනි දවසෙ, පලමු පැයේ ගත්ත තීරන්‍යක් කෙලින්ම බලපෑවා කියලා. ඒ තමා අපිට ලැබෙන අභියෝගෙ අපිට පාලනය කරන්න බැරි වුනත්, අපි ඒකට මුහුන දෙන විදිය අපිට වෙනස් කරන්න පුලුවන් කියන එක. අපේ බලාපොරොත්තු, අවිනිශ්චිතභාවයන් අපේ ගමනට ඉන්ධනයක් ලෙස මිස බරක් කර ගන්න නරකයි. එතකොටයි අපිට අලුත් ජවයකින්, නිදහස් මනසකින් මේ අභියෝග වලට මුහුන දෙන්න පුලුවන් කියලා.
ඒ නිසා පුතේ, මේක හිතෙන් ගහන්න ඕනෙ ගේමක් කියලා මතක තියා ගන්න. විකට් එකක් දෙකක් යයි, ඒත් තාම මැච් එක පරාද නෑ. නමුත් විකට් එකක් ගියාම ඔයා අලුත් පිතිකරුවෙක් වගේ පිටියට එන්න ඕනෙ. ජයසුරීය අවුට් වෙලා ගියාම, එන්නෙ අරවින්ද මිසක් ආපහු ජයසුරිය නොවේ, ඒ වගේ.
මතක තියා ගන්න, අන්තිම බෝලෙට ගහන කන් අපි මැච් එක පරාද නෑ.
හිතේ බර කිසි දවසක, ඔලුවෙ එල්ලන් විභාගෙට යන්න එපා. ඒක පැත්තකින් තියලා නිදහස් හිතින් විභාගෙට මුහුන දෙන්න. එහෙම කරලා එන ප්‍රතිපලේ සතුටු සිතින් බාර ගන්න. විභාගෙ කියන බෝලෙට හයක් වැදුනොත් එහෙමයි. ඒක මිස් වුනත් ප්‍රශ්නයක් නෑ, ජීවිතේ තව අවස්ථා එනවා.
නමුත් සැහැල්ලු සිතින් ගියොත්, ඔයා අතින් හයක් වදින ඉඩ වැඩියි.
ඔයාට, stadium එකෙන් එලියට යන්න හයක් ගහන්න පුලුවන් වේවා කියලා මම සුබ පතනවා පුතේ. ඒ හිතපු පාර නොවැදුනත්, ගණන් ගන්න එපා. අපිට තව අවස්ථා එනවා. ඒ හැම එකටම නිදහස් හිතින් මුහුන දෙන්න. එතකොට විභාගෙන් ඔබ්බට ජීවිතේ අභියෝගත් ලේසියෙන් ජය ගන්න පුලුවන්.
ජය වේවා!
ආදරෙන්,
චම්පික මාමා
මෙල්බර්න් සිට
09-08-2026

Comments
Post a Comment