ඩඩ්ලිගේ යටි බඩේ ගෙඩිය.. (කූඹියෝ අවසන් එපියට පෙර ලියූවක්..)

පිටිසර ගමක් තිබුනා..අපි නිකමට කියමු මහඋල්පතගම කියලා.. ගමේ හිටියා තරමක් මුදල්, හයිය තිබ්බ මනුස්සයෙක්, අපි එයාට කියමු ඩඩ්ලි කියලා නිකමට වගේ. 

තව මනුස්සයෙක් හිටියා ගමේ - ගොවිතැනක් බතක් නොකරත් මිනිහා අතේ නිතර සල්ලි ගැවසෙන, නිතර ජොලියෙන් ඉන්න.  අපි එයාට  කියමු ජෙහානිස් කියලා. ඇත්ත නම නෙවෙයි, අහඹු ලෙස තෝරා ගත් නමක්..

ජෙහානිස් මෙච්චර සල්ලි හොයන්නෙ ඔට්ටු වලින් දිනලා කියලා තමයි ගැමියො කිව්වෙ.

 දවසක් ඩඩ්ලි මුදලාලි. ජෙහානිස්ට කිට්ටු වෙලා ඇහුවා
" කොහොමද බන් යෝධයො උඹ මේ ඔට්ටු අල්ලලා මෙච්චර සල්ලි හම්බ කරන්නෙ" කියලා.
" ඒක හරි ලේසි වැඩක් ඩඩ්ලි මහත්තයෝ, මම නිකන් අනික් එක්කෙනා දිනනවා කියලා හිතෙන ඔට්ටුවක් දානවා ලොකු ගානකට" ජෙහානිස් ඇඟට පතට නොදැනී කිව්වා.

" ඈ බන් යෝධයො, අනික් එකා දිනන ඔට්ටුවක් දාලා උඹට අතින් කයිට් වෙනවනෙ?"

"ඒක වෙනමම කලාවක් ඩඩ්ලි මහත්තයෝ, මට දවසක් දෙන්න. මම මහත්තයට හරි යන ඔට්ටුවක් හිතාගෙන එන්නම්.. මේ රබර්  වත්තටම බල්ල ඇවිදදන්න වගේ එන්න. කාටවත් කියන්න එපා. අපි ඔට්ටුවක් දාමු හෙට හවසට"

කිව්ව විදියටම ඩඩ්ලි මුදලාලියි, ජෙහානුසුයි, ලේකමයි අර රබර් වත්තෙදි හම්බ වුනා 
(ආ.. සොරි, කියන්නත් බැරි වුනා, ලේකමා කිව්වෙ ඩඩ්ලිගෙ දඩෝරියට, බිරුවට හපන්නැති කොට මොඩල් එකේ බල්ලෙක්..) 

" හරි මම ඔට්ටුවක් අල්ලනවා, ඩඩ්ලි මුදලාලිගෙ යටි බඩේ සතියක් ඇතුලත ගෙඩියක් එනවා කියලා"  

 මේක අහලා ඩඩ්ලිට බකස් ගාලා හිනා ගියා. 

"උඹ කීයටද ඔය ඔට්ටුව අල්ලන්නෙ? "

" රුපියල් පන්සීයකට" 

" ගොනෝ! උඹට පිස්සුද? සතියෙන් ගෙඩියක් ආවෙ නැතොත්?"

"මම මුදලාලිට රුපියල් පන්සීයක් දෙනවා, ආයෙ කතා දෙකක් නෑ. හැබැයි මුදලාලිගෙ යටි බඩේ දැනට ගෙඩියක් නෑ කියලා සහතික කොරලා දැන ගන්න ඕනෙ ඔට්ටුව අල්ලන්න කලින් "

" පිස්සුද බන්" වටපිට බැලූ ඩඩ්ලි, තම සරම ගැටේ අසලින් යටි බඩටම පහත් කර කිසිම ගෙඩියක් නැති බව ජෙහානිස්ට පෙන්වීය. ලැජ්ජවෙන් මෙන් ජෙහානිස් අහක බලද්දී, ඩඩ්ලි බොහොම උජාරුවෙන් ඔහුට "හොඳින් බලහං"  කීවේ තමන් සතියෙන් දිනන ඔට්ටුව ගැන සිහින මවමිනි.

"අපි දෙන්න හරියටම සතියකින් මෙතනදී හමු වෙමු"  ජෙහානිස් ඩඩ්ලි සමග කතිකා කර ගෙන සමු ගත්තේය.

සතිය ගෙවී ගියේය. විටින් විට., කාටත් හොරා තමන්ගේ යටි බඩ නිතර පරික්ශා කල ඩඩ්ලිට, ඒ සතිය කල්පයක් තරම් දිගු විය. පොඩි බිබිලක් ආවත් ඔහුට බඩ බුරුලට යන්නට විය. නමුත් අදාල දිනය දා උදේ සිට රෝම කූපයක් ගානේ අත ගා ඔහු සහතික කර ගත්තේ අද ජෙහානිස්ට බඩු බනිස් වෙන වගය. 

කතා කර ගත් තැන, කතා කරගත් වෙලාවට දෙදෙනා හමු විය.
ඔට්ටු පරදින්නේ නැති ජෙහානිස් අන්තිම හෝරාවේ නූල් සූත්තරකින් වත් යටි බඩේ ගෙඩියක් මවයිදෝ කියා ඩඩ්ලි සිටියේ චකිතයකිනි. ජෙහානිස් සුපුරුදු සිනාවෙන්, බොහොම සැහැල්ලුවෙන් සිටීම ඩඩ්ලිගේ බඩ තවත් බුරුල් කලේය.

අදාල පරීක්ශාව සිදුවිය. යටි බඩේ තිබූ ඉටි ගෙඩියක් නැත.
ඩඩ්ලිගේ මුවට ආවේ වියරු සිනාවකි. ජෙහානිස් කිසිදු පැකිලීමකින් තොරව රුපියල් පන්සීයක් අතේ තබා යන්න ගියේය. 
ඔට්ටු මරුවෙක් පැරද වීමේ උද්දාමයෙන් ලේකමා එක්ක ගෙදර ගිය  ඩඩ්ලි නොදැන සිටි නාටකයක් පසුබිමේ මේ වන විට ක්‍රියාත්මක වෙමින් තිබුනි.

කලින් සතියේ ජෙහානිස් දවසක් ඉල්ල ගත්තේ නිකං නොවේ. 
ඩඩ්ලි එක්ක ගේමෙන් සිටි කිහිප දෙනෙක් ගමේ විය. ඉන් උඩින්ම හිටියේ ගම් මුලෑදෑනී ආරච්චිලය. තමන්ගේ නිලයට කෙලවීමේ වැඩිම ශක්‍යතාවයක් ඇති ඩඩ්ලි පච කිරීමට ආරච්චි මාන බලන බව ජෙහානිස් දැන සිටියේය. 

"ආරච්චිල මහත්තයෝ, ඩඩ්ලි මහත්තයා මට අර රබර් වත්ත මුල්ලෙ, සරම පහත් කරලා පෙන්නුවොත්, කීයක් දෙනවද?" 
ජෙහානිස් අහන කොට ආරච්චිගේ මූන සතුටින් දැල් වින. 

"මෙහෙමයි, මේක ගමේ අබිලියා දකින්නත් ඕන ගම ගිනි තියන්න.. හැබයි ඕක නොවුනොත් මම සවුත්තුත් වෙනවා" ආරච්චිල අදි මදි කලේය.

"මම හෙට ආරච්චිට මේ වැඩේ පෙන්නනවා, හරි ගියොත් විතරක් ඔට්ටුව අල්ලමු.  සතියකින් අබිලියා එක්ක අර ගල් තලාව උඩ දෙබොක්කෙ ඉඳන් බලා ඉන්න. එදාටත් ඔය වැඩේම වේවි. ඉතිරි හරිය අබිලියා කරයි නේ.. හැබයි මගේ ගාන පන්දාහයි"

එය එලෙසින්ම තීන්දු විය.

ඩඩ්ලි එදා රබර් වත්තෙන් එලියට එද්දි, උඩ ගල් තලාව ලඟ දෙබොක්කාවේ සැඟ වී සිටි අබිලියා සහ ආරච්චිල බක බකා ගා සිනාසෙන්නට විය. ඩඩ්ලිට වෙන සන්තෑසිය ගැන අබිලිං එක්ක තලුමරන ආරච්චිලටත් හෙට නැති වෙන පන්දාහ ගැන වගේ වගක් නැත. 
මේ බල අරගලය මැද්දෙ, දෙදෙනාම අන්දවා ජෙහානිස් සතියක් ඇතුලත රුපියල් 4500 ක ශුද්ධ ලාභයක් ලැබුවේය.

***

දැන් කූඹියෝ අන්තිම එපියට එමු.
බොහෝ දෙනෙක් ජෙහාන් සහ ඩඩ්ලි මල්දෙනිය පක්ශෙට දෙන ගේම ගැන කතා කරනවා.. නමුත් ඊටත් උඩින් අපි කවුරුත් නොදන්න චරිතයක් එක්ක මේ ප්ලොට් එක ට්විස්ට් වීමට නියමිතයි. ඇයි මම එහෙම කියන්නෙ?

ප්‍රියන්ත ඉස්සරහා දිග ඇරුනු කතාව "ඇත්ත" නම්,
මල්දෙනිය ජෙහාන්ව අහම්බෙන් හම්බ වෙලා, තට්ට තනියෙම රටේ උඩම ඉත්තො වෙනස් කරන ගේමක් භාර දෙනවා. ඒක හරි ගියාම තමයි ගාන ගෙවන්නෙ. ඒ දක්වා අවුරුදු ගානක් ජෙහාන් මිනී මරන්න, හිරේ යන්න, තමන්ගෙ පවුල වගේ හිටපු එවුන්ගෙ ගෙවල්වලට මැරයො යවල තර්ජනය කරන්න, කොටින්ම පාතාල කල්ලි එක්ක හෙට්ටු වෙලා තමන්ගෙ ජීවිතේ අන්තිම අවදානමක හෙලනවා.
මල්දෙනියගේ නම කොහේවත් නැහැ..මේක දන්නෙත් ඒ දෙන්නා විතරයි..
වැඩේ ඔක්කොම කෙරුනට පස්සෙ ජෙහාන්ගෙ ඔලුවට එක වෙඩිල්ලයිනෙ ඕනෙ මේ කොරපු ඔක්කොම වතුරෙ යන්න?

ජෙහාන් එච්චර බබෙක් ද?

කොටින්ම, ගේමෙ පොඩි වැඩේටත් හිටපු හැම එකාම අල්ලෙ නටවන්න මොකක් හරි තුරුම්පුවක් තියා ගත්තු එකාට? තමන් ගැන ඒ වගේ ඔත්තු, විශ්වාසෙ දිනා ගන්න කියලා පක්ශෙට යවපු එකාට? මේ වැඩ වලදි මම අම්ම අප්පවත් විශ්වාස කරන්නෙ නැහැ කිව්ව එකාට?

එක්කො ඒ ටික ඔක්කොම බොරු.
ඒක ඇත්ත නම්, නොකියවෙච්ච  කෑල්ලක් තියෙනවා ජෙහාන්ගෙ සහ මල්දෙනියගෙ සම්බන්ධෙ.

එහෙමත් නැත්නම්, අපි හැමෝම මල්දෙනිය පක්ශෙට ගේම දෙන 'යටි බඩේ ගෙඩිය' මෙහෙයුම බලන් ඉන්න අතරෙ,
 ජෙහාන් හැදුවා කියන බැරල් සුනිල්ට තියෙන,  'මල්දෙනියට හැරෙන්නවත් බැරි අත්ත', අපිට  තාම නොපෙන්නපු 'ආරච්චිල' කෙනෙක් ද?
ඒකෙ මුල් අහු වෙලා මල්දෙනියට වැඩේ ලීක් වෙයි කියලා බයට  ඔස්ටින් අයියා මැරුම් කෑවා වෙන්න බැරිද? ලේකමාව හොරෙන් වීඩියෝ කරපු එක මාස්ටර් ප්ලෑන් එකේ කොටසක් වෙන්න බැරිද?

අපි බලන් ඉම්මු, අර දෙබොක්කාව අස්සෙ ඉඳන් බලන් ඉන්න නාඳුනන ආරච්චිලා, ඩඩ්ලි මල්දෙනියගෙ වස්තරේ පහත් කරලා, චෙක් මේට් කියාවිද කියලා ...


Comments

Popular posts from this blog

A miracle, they say!

හිනාවෙයන් කලු හිනා වෙයන්!

සත්තයි නුඹ ඇවිදින්...