ජෙහාන්, මල්දෙනිය හදිසි රහසිගත හමුවක්!

 


ජෙහාන් රබර් වත්තට එන විටත් මල්දෙනිය අගමැතිතුමා එහි කලින්ම පැමිණ සිටියේය.
මල්දෙනිය අගමැති කරන්නට, බෙල්ල ගසා යන මට්ටමේ මෙහෙයුම දියත් කලත්, ජෙහාන් සහ අගමැතිතුමා අතර මෙලෙසින් මුහුනට මුහුන හමුවීම සිදුවුනේ පසු ගිය වසර තුනටම, අතේ ඇඟිලි ගණනටත් අඩුවෙනි. ඒ දෙදෙනාගේම ආරක්ශාවටය. ඒ නිසා වහාම තමා හමුවෙන ලෙසට පැමිණෙන ලෙසින් කල ඉල්ලීම සුලු පටු නොවන බව ජෙහාන් දැන සිටියේය.
"ජෙහාන්"
මල්දෙනිය මද සිනාවක් පාමින් ජෙහාන්ව පිලි ගත්තේ සුපුරුදු ළෙන්ගතු කමිනි. තමන් හිර වුන හැම වෙලාවකම සහනයක් ලබා දුන්නේ කුලියට වන්දිභට්ට කම් කරන හෙන්චයියන් නොව, විටක තමන්ගේ වචනවලට එරෙහිව පවා කතා කරන, දඩබ්බර එහෙත් අතිශයින් ශුර සහ බුද්ධිමත් මේ මිනිසාය. එනිසා ජෙහාන්ගේ හමුවීම මල්දෙනියට ගෙන ආවේ අතිශය සොම්නසකි.
මල්දෙනියගේ සිනාව තුල වුවද ජෙහාන් දුටුවේ විඩාබර වයසක පෙනුමකි. තමාගේ තාත්තාගෙ වයසේ මේ මිනිසා, අගමැති ධුරය ලබා සිටි පසුගිය වසර දෙකට, තුනට දෙගුණයකින් වයස ගියාවත්දැයි ජෙහාන්ට සිතින.
"ජෙහාන්ට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනෙ මම දැන් ඉන්න තත්ත්වෙ. අපිට ගෙදර යන්න කියලා මිනිස්සු පාරට බැහැලා.. මගේම පිටේ නැගලා ජනාධිපති වෙච්ච මගේම මල්ලි කියනවා මට ඉල්ලා අස්වෙන්න කියලා. විපක්සෙ එවුනුයි, මගේ වටේ වාසියට දැවටීගෙන හිටපු සමහරක් එවුනුයි විශ්වාසභංගයක් අරන් ඇවිත් බොර දියේ මාලු බානවා. "
මල්දෙනිය කතා කලේ දැඩි වේදනාවකිනි.
"සර්, හදිසි නීතිය දාල සර්ලා කරේ මහ කැත වැඩක්. තරහ වෙන්න එපා සර් කිව්වට. මට හිතා ගන්න බෑ මේ වෙලාවෙ සර්ලට උපදෙස් දෙන බක පන්ඩිතයො කව්ද කියලා"
"ඔක්කොම තීන්දු ගන්නෙ ජනාධිපති මට්ටමෙන් ජෙහාන්... "
කෝපයෙන් ජෙහාන් නැගී සිටියේය. මෙතෙක් වේලා ඉවත බලාගෙන සවන් දුන් ඔහු කෙලින්ම මල්දෙනියගේ මුහුනට එබුනේය.
"මේකයි සර්, අපි දෙන්නට මෙතන එලිවෙනකන් කතා කරලා, ගහන්න තියෙන ගේමක් plan කරන්න පුලුවන්. හැබයි සර්, මල්ලිගෙ ජනාධිපති මාධ්ය එකේ ඉන්න අර උණ හපුලුවො දෙන්නට කියන්න නිකන් පිස්සු කෙලලා තවත් ජෝක් එකක් වෙන්න එපා කියලා. පුලුවන් නම් උන්ට වැඳලා කියන්න තවත් මාධ්ය නිවේදන එපා කියාලා. ජනාධිපතිතුමා එද්දි පාර්ලිමේන්තුවෙ ආන්ඩුව පැත්තෙ අය අත්පුඩි ගහපු එකත්, මාධ්ය නිවේදනයක් කරපු ඩෑල්නෙ.
අනික් උපදේශකයොත් එහෙමයි. කව්ද කිව්වෙ ෆේස්බුක් නවත්තන්න කියලා? උදේ වහනවා, දවල් අරිනවා. මිනිස්සු පාරට බහින්න හදද්දි ඇඳිරි නීතිය දානවා.. ඊට පස්සෙන්දා එන්න හිතපු නැති එවුනුත් පාරට බහිනවා.මොන ජෝක්ද සර් මේ? ඔය හදිසි නිතිය මහා විනාසයක්. ඒක හකුල ගන්න කියන්න ලොක්කට. මොකෝ පුරුදු වෙන්න තීන්දු රිවර්ස් කරන කෙනෙක්යැ එයා!"
කලකිරීමෙන් කතා කරගෙන යන ජෙහාන්ව නවත්වන්නට මල්දෙනියට උවමනාවක් නැත. ඒ ජෙහාන්ගේ හැටිය. සෝඩා බෝතලයක් මෙන් විවරව පෙන ගලා ගිය පසු, නිහඬ වෙන ඔහු තම ශූර බුද්ධිය මෙහෙයවා මේ පඹ ගාලෙන් මිදෙන විදියක් මතු කරන බව මල්දෙනිය දැන සිටියේය.
"මේක ලේසි නෑ සර්. " ජෙහාන් ඈත බලාගෙන කීවේය.
"මිනිස්සු ඉන්නෙ මාර පීඩනේක. සර්ලා ඒ මිනිස්සු දිනා ගන්න ඕන වෙලාවෙ ඔය හදිසි නීතිය දාලා, කරන්නෙ මේ වෙලාවෙ පාරට නොබැස්ස එවුනුත් පාරට බස්සන වැඩක්. තමන්ගෙ දරුවට කන්න නැතුව, බෙහෙත් නැතුව පාරට බහින තාත්තා කෙනෙක් මරා ගෙන මැරෙන කොටියෙකුට වඩා ප්රචන්ඩයි. තමන්ගෙ දරුවගෙ පාරෙදි ලේ හෙල්ලෙනවා දකින අම්මා කෙනෙක් සාප කරොත් කුවේනිගෙ සාපෙ කැලේ. අපිට ගොඩ එන විදියක් කතා කරන්න කලින්, මේ නටන පිස්සුව නතර කරලා ඉන්න සර්"
"ජෙහාන්, මෙතන සෙන්ටිමෙන්ටල් වෙලා මේක විසඳන්න බෑ. ජෙහාන්ම මේ වගේ ඒවා කීයක අපිට යටින් උදව් කරලා තියෙද? මිනිස්සු රාජ්යකට විරුද්ධව යනවා නම් ඒකෙ රිස්ක් එක එයාලට ගන්න වෙනවා. "
"මේක වෙනස් සර්. ඕකම තමයි මේ ප්රශ්නෙ. ඔයාලගෙ ආන්ඩුවයි, මුලු පාර්ලිමේන්තුවම මේකෙ බරපතලකම අරන් නෑ. මම කිව්වා කියලා මතක තියා ගන්න. කිසිම මිනිස් බිල්ලක් මිනිස්සුන්ගෙ පැත්තෙන් නොගන්න වග බලා ගන්න. එහෙම වුනොත් මල්දෙනිය ලොකු බේබිගෙ නායකත්ව සිහිනෙට හෑශ්ටැග් ගොක්කොල තමයි."
"ජෙහාන්, දැන් තමුසෙත් ආපු වෙලාවෙ ඉඳන් අපේ වැරදිනෙ කියන්නෙ..මම ජෙහාන්ට එන්න කිව්වෙ මේකට මොකක්ද කරන්න පුලුවන් කියලා කතා කර ගන්න"
මල්දෙනිය හඬ උස් කරමින් කතා කලේය.
ජෙහාන්, නිහඬව ඈත බලා සිටියේය. දැඩි කල්පනාවක හිද්දී ඔහුහේ නිකට තද වී, කට පැත්තකට යයි. මල්දෙනිය එය දකින්නට කැමතිය.
"ඉස්සෙල්ලා ලේසි වැඩ ටික කතා කරමු. ගෝල්පේස් එකේ ඉන්න අරගලකාරයොයි, ෆේස්බුක් එකේ හෑශ්ටැග් ගගහා යන එවුනුයි. "
"ලේසියි කියලද කිව්වෙ? මට ලොකුම හිසරදෙ උන්."
" නෑ සර්. ඔය ගෝල්ෆේස් සෙට් එක ඉන්නවා නේද උන් වැඩි හරියක් ඇත්තටම කලකිරීමට ආපු ඇත්තම ඇම්ම තියෙන වුන්. හැබැයි උන්ට කිසිම තේරුමක් නෑ ඊලගට වෙන්න ඕනෙ මොකක්ද කියලා. එලවන්න කැමති වුනාට, ගියොත් ඊට පස්සෙ කරන්නෙ මොකක්ද කියලා කිසිම අදහසක් නෑ. ඒක මෙතන අපිට වාසියක්"
"ඒ කොහොමද?"
"ඔය අස්සෙ බැහැලා ඉන්නවා ෆේස්බුක් එකේ ලොරි ටෝක් දෙන හාන්සි පුටු විචාරකයො දෙතුන් දෙනෙක්. උන් හරි ආසයි මයික් අරන් කතා කරන්න. උන්ට වැඩිපුර කතා කරන්න දුන්න ගමන්, උන් හිතනවා මේක ලීඩ් කරන්නෙ උන් කියලා. එතකොටම ඇතුලෙ එවුන් බෙදෙන්න ගන්නවා. මම කොල්ලො ටිකක් දාන්නම්, ඔය දෙතුන් දෙනෙක් තව ෆෝම් වෙන්න. වැඩිපුර ෆෝම් වෙන තරමට, වැඩිපුර කතා කරන තරමට වැඩිපුර ඔලු අස්සෙ තියෙන ඇජෙන්ඩා, ඇරියස් එලියට එනවා. උන් උන් ගැටෙනවා. එතකොට අර කික් එකට ආපු කොල්ලො කෙල්ලො කලකිරෙනවා. "
"එතකොට ෆේස්බුක් එකේ අපිට විරුද්ධව හෑශ්ටැග් ශෙයා කර කර යන ගින්දරට"
"ඒකට පිදුරු දාන්න තියෙන්නෙ සර්"
"මොකක්?"
"මේ දවස්වල ඔය ශෙයා කරන, හෑෂ්ටැග් ගහන සෙට් එක ඕන එකක් ශෙයා කරනවා. ඒකෙ fact check කිරීමක් නෑ.. ඕනෙ නම් සර්ලා ඇමරිකන් ඩොලර් ට්රිලියනයක් ගැහුවා කියලා පොස්ට් එකක් දාන්න දැන්. සෙට් එක හෝල්සේල් ශෙයා කරනවා. අපිට තියෙන්නෙ සර්ගෙ මීඩියා ටීම් එකට කියන්න ඒ වගේ අතේ රෝල් ටොම්පච කියලා අහු වෙන ඒවා වැඩි වැඩියෙන් ගහන්න. ඇත්ත බොරුව හොයා ගන්න බැරි විදියට සීමාව බොඳ වුනොත් වාසිය සර්ලට"
"හැබැයි ජෙහාන් ඔය ඔක්කොම වතුරෙ පාර්ලිමේන්තුව ගොඩ දා ගන්න බැරි වුනොත්?"
"ඒක ගොඩ දා ගන්න පුලුවන්. හැබැයි අගමැතිතුමා, ඒක suicide mission එකක්..."
"සිය දිවි නසා ගන්න, මං?"
(මෙය 'දෙවැනි ඉනිම' වූවා නම් මේ මොහොතේ 'පටාස්' ගා අකුණු සැරයක් පසුබිමේ ඇසිය යුතු වේ.. නමුත් මේ කූඹියෝ නිසා ඒ මොහොතේ වූයේ දරා ගත නොහැකි නිහඬියාවක් සහ ඇස් උඩ ගිය මල්දෙනියගේ දසුනකි)
"දේශපාලනික සිය දිවිනසා ගැනීමක් සර්.. ඔබ තුමා ඉල්ලා අස්වෙන්න ඕනෙ"
(මෙය 'දෙවනි ඉනිම' වුවා නම් මේ මොහොතේ ජෙහාන්ගේ සහ මල්දෙනියගෙගේ මුහුනු මාරුවෙන් මාරුවට ලොකු පුංචි වන ලෙස කැමරා රූප ඛන්ඩනයක් විය යුතුය. නමුත් මේ කූඹියෝ නිසා ඒ මොහොතේ දර්ශනය වූයේ, ලඟම තියෙන ගලක් උඩ සැනින් ඉන්දවුන මල්දෙනියගේ පරාජිත මුහුනයි.)
"අයිසෙ ජෙහාන්, ඕකද තමුසෙගෙ මහ ලොකු ප්ලෑන් එක? අනික් එවුනුත් කියන්නෙ ඕකනෙ.."
"මම කියලා ඉවර නෑ සර්. මේක වෙන්නෙ අනික් අය ඉල්ලන විදියට නෙවේ. අපිට ඕනෙ පාරෙ ඉන්න එවුන් ගෙවල් වලට යවන්න. සර්ගෙ පක්ශෙ මන්ත්රීලාගෙ ගෙවල් ඉස්සරහට ගිහින් මිනිස්සු බලපෑම් කරන එක නවත්වන්න."
"ජෙහාන්... අපි මෙතනට ආවෙ ජනතා ඡන්දෙන්. අපිට තව අවුරුදු ගානකට ඒ ජන වරම තියෙනවා. පාරවල් ගානෙ, හන්දි ගානෙ මිනිස්සු ටිකක් කෑ ගහපු පලියට අපි අස් වෙන්න ඕනෙද...ඒකද ප්රජාචංචවාදය?"
"කෙහෙල්මල් ජන වරම! සර්ලා පෝලිම් වල ඉන්නෙ නෑනෙ.. සර්ලා වටේ 'යස් සර්' අයගෙ කතා නොවේ, බස්වල, පෝලිම් වල, මාකට් එකේ මිනිස්සු අතර ඉන්නෙ අපි, ඒ මිනිසුන්ගෙ කතා අහන්නෙ අපි. සර් මගේ ඔලුවට පිස්තෝලෙ තියල ඇහුවත් මට කියන්න තියෙන්නෙ සර්ලගෙ ආන්ඩුව මිනිස්සු අතර පජාත විදියට පිරිහිලා ඉවරයි. යම් තම් හරි අල්ලන් ඉන්නෙ විපක්සෙ සර්ලටත් වඩා පජාත හින්දා විතරමයි. ආපහු මල්දෙනිය රජ පෙලපතක් නම් එනවා බොරු. ඒත් අපි මේක හරියට ගැහුවොත්, ඊලඟ ඡන්දෙ වෙනකන් වත් ඇදගෙන යන්න ලැබෙයි. ඊලඟට එන එකාටත් මාස හයකට වඩා දුවන්න ලැබෙන්නෙ නෑ කියලා කැට තියලා කියන්නම්. අන්න එහෙම වුනොත්, ලොකු බේබිට පොඩි චාන්ස් එකක් එනවා. ඒකට තමයි සර්ගෙ පැත්තෙන් පියවරක් පස්සට යන්න ඕනෙ.
හැබැයි මේකයි, සර් යන්නෙ සර්ගෙ විදියට"
"මගේ විදියට?"
"ඔය මරාගෙන මැරෙන කොටි සයනයිඩ් එකක් බෙල්ලෙ එල්ලන් ආවෙ ඇයි කියලා සර් දන්නවනෙ.. ඒකෙන් ඌ කිව්වෙ 'මම මැරුනට මැරෙන්නෙ, සතුරට ඕනෙ විදියට නොවේ, මට ඕනෙ විදියට, මට ඕනෙ වෙලාවට'.
සර් යන්නත් ඕනෙ ඒ විදියට. විශ්වාසභංගෙ ගෙනාවොත් ඒක දිනන්න බැරි වෙන්න සර්ට හිතවත් සෙට් එක ලෑස්ති කරලා තියන්න. සර්ට ශුවර් නැතිසෙට් එකේ ෆයිල් ටික මට දෙන්න. මං උන්ට කෝල් කරන්නම්. සර් ගියොත්, උනුත් හැඳි ගෑවිලා යන හැටි මතක් කරලා දෙන්නම්. උන් ඒ කෝල් එක ගන්නම ඕනෙ.
එක්කො විශ්වාසභංගෙ දිනලා යන්න ඕනෙ. නැත්නම් ඒක එන්න කලින් යන්න ඕනෙ.
ඒ විදියට පාලිමේන්තුවෙ වාසිය සර්ලට කියලා පනිවිඩයක් දෙන්න ඕනෙ. අර නියෝජ්ය කතානායක නාඩගම ඒ වැඩේ නියමෙට කරා. ඒක අපිට වාසියි. "
"එතකොට අස් වෙන්නෙ?"
"නොහිතන වෙලාවක.... ඒක grand exit එකක් වෙන්න ඕනෙ.. සර්ට ශුවර් එකෙක් ඔය පුටුවට එන්න ඕනෙ. එයාට මම අනිවාර්යෙන් කෝල් කරන්නම්. මේකත් එක්ක ඔය අරගලේ බැහැලා යනවා"
(මේ මොහොතේ 'ආයු බෝ වේවා, මහා රජාණනි' ගීතය පසුබිම් සංගීතයට එකතු වෙනු ඇසේ)
"නෑ.. උන් වැඩියෙන්ම ගේම කෝල් කරලා තියෙන්නේ ප්රෙසිඩනට්ටනෙ..!"
"ඉන්නකො සර්.. එතුමට තියෙන්නෙ වෙනමම script එකක්. එතුමාට තියෙන්නෙ කොරහ බිඳගෙන යන්න?"
මල්දෙනියගේ ඇස් උඩ ඉන්දවින.
"අයිසෙ, ඒ කියන්නෙ මල්ලිත් අස් වෙනවද?"
"නෑ, සර්. එතුමා විධායක ජනාධිපතිධුරය අහොසි කරන යෝජනාවක් පාර්ලිමේන්තුවට ගේනවා. ඒක පාර්ලිමේන්තුවේ විවාදයට ගන්නත්, එය සම්මත වෙලා, රට යම්කිසි ස්ථාවරත්වයකට ඇවිත් ජනමත විචාරණයකින් ජනාධිපතිධූරය අහෝසිවන තුරු, රට අරාජිකත්වය පත් නොකිරීමේ සද් අරමුණින් ධුරයේ නාම මාත්රිකව දිගටම රැදී සිටිනවාය, ඒ දක්වා පාලිමේන්තුවෙන් අනුමත කරන යෝජනා ක්රියාත්මක කිරීමට පමණක් විධායක බලතල ක්රියාත්මක වන බවට සහතික වෙනවා කියලා ඇඬෙන ජාතිය ඇමතීමක් කරන්න ඕනෙ. ආ.. ඒකෙ script එක මම ලියලා දෙන්නම්. අර උණ හපුලුවො දෙන්නට දෙන්න එපා. මතකනෙ ගිය පාර කිව්ව 'අර්බුධයෙ නිර්මාණය කරේ මා නොවේ' කතාව.. මිනිස්සු තාම හිනාවෙනවා.."
"ජෙහාන්, මේ වැඩෙන් අපි එලියට විසිවෙනවනෙ අයිසෙ?"
"ඔය එලියට පේන ටික සර්. ඔය පාලිමේන්තුවෙ වෙන විවාදෙ ඇදෙන හැටි සර් දන්නවනෙ. ඔය විධායක ජනාධිපති අහෝසි කරන කැරට් එක තව අවුරුද්දක් දෙකක් ඇදන් යන්න ඇති. අනික බහුතරේ අපේ නම්, පාර්ලිමේන්තුවේ සම්මත වෙන්නෙ සර්ලට ඕන ටිකම තමා. "
මල්දෙනිය දිග හුස්මක් ගත්තේය.
"එතකොට ජෙහාන් කියන්නෙ, අපි ලොකු පුටුවල නැති, අපිම මෙහෙයවන ආන්ඩුවක්?"
"හරියට හරි සර්. මල්දෙනිය නොවන නමුත් මල්දෙනිය ආන්ඩුවක්.
සර්, දේශපාලනය කියන්නෙ මතු පිටින් දේන දේ නෙවෙයි. අපි මිනිස්සුන් හිතන විදිය වෙනස් කරන විදිය. මෙතන ඉත්තා අදින්න ඕනෙ, ප්රතිවාදියට හිතන්නෙ බැරි මුව් එකකින්.
(මේ මොහොතේ පසුබිම් ගීතය නැවත වෙනස් වෙයි. "පූජාසනයේ ඔබ හිඳුවා ඔබට පුදන මේ ලෝකයමයි, හෙට ඔබට එරෙහි වී නැගිටින්නේ" ගීතය ඇසෙන්නට පටන් ගනී.)
"එහෙනම් අගමැතිතුමා මම යන්නම්.. "
"ජෙහාන් මට සර් කියන අන්තිම පාරද මන්දා? "
"පිස්සුද සර්.. ඔය විදියට මාස හයක් අදිමු.
සර්ල ස්පොට් ලයිට් එකෙන් අයින් වෙලා ගියාට පස්සෙ, මේ game එක වෙනස් වෙනවා. එතකොට එහෙම් පිටින්ම මේක බලු පොරයක් වෙනවා.
විපක්සෙ ඉතිරි ටිකට මරා ගද්දි, මිනිස්සු ආයිමත් වෙනස් වෙයි. එදාට අපි මෙතනදි ආයි හමු වෙමු!"
කූඹියෝ තේමා වාදනය පසුබිමේ වාදනය වෙද්දී, ජෙහාන් රබර් වත්තේ ඈතට පෙනී නොපෙනී යන තුරු මල්දෙනිය බලා සිටියේය.


Comments

Post a Comment

Popular posts from this blog

A miracle, they say!

හිනාවෙයන් කලු හිනා වෙයන්!

සත්තයි නුඹ ඇවිදින්...